Friday, January 20, 2017

බැරලා සිහිවී... | Barela, Where Are You?

 අපි බොහෝ විට කෙනෙක්ගේ ගුණ වනන්නේ ඔහු හෝ ඇය මියගිය අලුතමය. ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් ඔවුහු අපෙන් දුරස් වී යති. එහෙත් මිය ගොස් කලක් ගතවූ පසුත් මතකයෙන් නොමැකෙන සමහරුන් ද සිටිති.සමහරක් විට!


 බ්ලොග්කරුට මිතුරෝ රැසක් වෙති.හොඳ, නරක,උගත් , නූගත් යනාදී ලෙස ඔවුන්ව කැටගරයිස (Categorized) කිරීමට ඔහු අකමැතිය. බ්ලොග්කරුගේ දිවිසැරිය තුලදී හමුවූ නානාප්‍රකාර මිතුරන් අතරින් තමා හා අමනාප වී යැයි ඔහුට සිහිපත් කල හැක්කේ එකෙකු පමණි.ඒ ද  ඔහු මිතුරෙක් ලෙස හැඳින්වීමට හැකි නම් පමණි.කොහොම නමුත් මෙම අපමණ මිතුරු රැල අතරින් තිදෙනෙක් මේ වන විට ඔහුව හැරදමා ගොස්ය.

එයින් පළමු වැන්නා බ්ලොග්කරුගේ සමවයසේ සිටි, පහේ පංතියේ සිටි කාලය  පුරාවටම ඔහු වෙනුවෙන් අමතර වතුර  බෝතලයක් තම බෑගයේ දමාගෙන ආ නවීන්ය.සුනාමියට හසුවී ඔහු සහ ඔහුගේ පවුලේ බහුතරයක් මියගොස් දැනට සෑහෙන කාලයකි.දෙවැන්නා උසස්පෙළ විභාගයට මසක් තිබියදී මියගිය, බ්ලොග්කරු හා එකම විෂය ධාරාව ඉගෙන ගත් ඉරෝශ්ය.සුවපත් කිරීමට මිතුරන්, දෙමාපියන් , වෙදැදුරන් ගත් මහත් වෙහෙසට සරදම් කරමින් ඔහුද නික්ම ගොස් දැනට සෑහෙන දවසකි.

තෙවැන්නා! ඔහු නම් බැරලාය! බැරලා වෙනමම චරිතයක් ය!

ඔහුව මුලින්ම බ්ලොග්කරුට හමුවන්නේ හතේ පන්තියේදීය. මාත් ඔහුත් අතර දැඩි මිත්‍රත්වයක් ඇති වුණේ කොහොමදැයි කීමට මම අපොහොසත්මි. ඔහු වැඩි මිතුරු ඇසුරක් නැති, නිහඬ චරිතයක් වූ අතර මම එහි අනෙක් පැත්තය. අපේ එකම සමානකම වූ කලී පොත් කියවීමට තිබූ ආසාව විය හැක. මගේ බෝඩිමට ගෙවල් දෙකකට ඈතින් ඔහුගේ ගෙදර පිහිටි නිසාත් පාසැල නිමවී අනෙක් මිතුරන් ගෙවල්වලට ගියපසු අපි දෙදෙනා පමණක් ඒ අඩවියේ ඉතිරි වූ නිසාත් අපි මිතුරන් වූවා වන්නටද පුළුවන. කොහොම නමුත් අපි මිතුරෝ වීමු!

හතේ පංතියේ අගදී පැරණි බෝඩිමෙන් ඉවත් වී වෙනත් තැනකට ගිය නිසා පාසැල් වේලාවෙන් පසු අපේ 'සැට් වීම්' නැවතිණි. එහෙත් යාළුකම යනු යාලුකමමය. බොක්ක යනු බොක්කමය. උසස් පෙළ ඇරඹුණු අවධියේදී බ්ලොග්කරු නැවතත් පැරණි බෝඩිමටම ආවේය.බැරලා සතුව ඒ වනවිට අටෝරාසියක් පොත් තිබුණි. ඉතිං..වෙන මොන කතාද?

හවස් වෙද්දී බෝඩිම පට්ටම කම්මැලිය. ඒ දවස් වල කරන්නට දෙයකුත් නැත. ( පාඩම් කරන්න තිබුණු නමුත් ඒවා වැඩ හැටියට සලකන්නේ කවුද? ) එකම පිළිසරණ බැරලාගේ පොත් එකතුවය. මම හයේ පංතියේදී පමණ කියවන්නට පටන්ගත් ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ  The Little House කතන්දර පෙළ කියවා ඉවර කලේ බැරලාගේ පිහිටෙන් උසස් පෙළ කරද්දීය. ඔහුගේ පොත් එකතුවෙන් කියවූ පොත් වල නම් වත් දැන් නම් මතක නැත. කොහෙන්වත් හොයාගන්නට බැරුව හිටි නන්දා මාලිනීගේ 'පවන' හා ' සත්‍යයේ ගීතය ' යන ගීත එකතු ද මට හොයා දුන්නේ බැරලාය.ඉතිං මට නම් බැරලා පට්ටය!

ඔහු කවදාවත් අපිව වලි වලට අරං යන්න තැනුවේ නැත. " මචං අර කෑල්ල ටෝක් කරලා දීපංකො" යැයි කන්කෙඳිරි ගෑවේ නැත. අපිට කෙල්ලන්ව හොයා දෙන්න උත්සාහ ගත්තේද නැත. " හවසට සෙට් වෙලා බියර් එකක් ගහමු "යැයි කීවේද නැත. සමහරක් විට සිතෙන්නේ බොක්කෙ ෆිට් එකක් ඇති වීමට නම් මේ කරුණු කාරණා අත්‍යවශ්‍ය බවය. එහෙත් එය එසේ නොවන බව බ්ලොග්කරුට වටහා දුන්නේ බැරලාය.

ජීවත් වූ හා  ජීවත් වන බැරලා මිස මැරිච්ච බැරලෙක් ගැන හිතන්නට බ්ලොග්කරු කැමති නැත." මරණය කියල දෙයක් නෑ දුවේ. මිනිස්සු මැරෙන්නෙ අපි එයාලව අමතක කලාම විතරයි. උඹට මාව මතක තියෙනව නං සදහටම මං උඹත් එක්කලා ඉඳීවි" යැයි ඊවා ලූනා හිදී ඉසබෙල් අයියන්දේ කීවේය. එලෙසින්ම බැරලාවද මට අමතක නැත.

2012 අපේ විද්‍යා දිනයට හැදූ සිහිවටන පොත් පිංචේ අන්තිමට නම නොදන්නා ලේඛකයෙකු  හෝ ලේඛිකාවක  මෙසේ සටහන් කර තිබුනේය. "ලොවේ කොහේ කොතැනක සැඟවුණු මුත් මිතුදම නම් මිය යනු නැත්තේ"..

බැරලාගෙන් මං ඉල්ලගත්තු, හැමදාමත් හොරණ යන විට ගෙනිහින් දෙන්න හිතං හිටි , ඔහුගේ මරණය තෙක්ම දෙන්නට බැරි උණු Gabriyel Garcia Marques ගේ  News of a Kidnapping  දකින විට මට හිතෙන්නේ ද ඒකමය.

9 comments:

  1. කාලෙකට පස්සෙ සරදි ආයිත් ඇවිත්. සතුටුයි බං. මේ ලිපිය කියවද්දී මටත් මතකෙට ආව කීප දෙනෙක්ම ඉන්නවා. අවංකව මිතුරන් යැයි කියන්න පුලුවන් දෙන්නෙක්ම මේ ලෝකෙන් යන්න ගිහින් සරදි. ඒ ගැන පොඩි දුකකුත් නැතුවාම නෙමෙයි.
    දිගටම නැතත් මාසෙකට එකක්වත් ලිපියක් ලිව්වොත් හොඳයි නේද ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ සෑහෙන්න වැඩ තිබ්බ දුමියෝ. දැන් නං ටිකක් විතර ෂේප්.

      Delete
  2. Mchn saradiyel...kohoma amathaka wennada bn a wge wenasma charithayak...

    ReplyDelete
  3. Mchn saradiyel...kohoma amathaka wennada bn a wge wenasma charithayak...

    ReplyDelete
  4. දැං යාලුවෝ නැ බං

    ReplyDelete
    Replies
    1. එහෙමත්ම කියන්න බෑ නේ? මොකද මිනිස්සු අතරින් මනුස්සකම නැති වෙලා ගිහිල්ලය කියල හිතෙන කොටම ඒ මතය නිශේධ වෙන මොකක් හරි දෙයක් අපිට දැනෙනව.යාලුකමත් ඒ වගේ.

      Delete
  5. /////ජීවත් වූ හා ජීවත් වන බැරලා මිස මැරිච්ච බැරලෙක් ගැන හිතන්නට බ්ලොග්කරු කැමති නැත."//////////

    ඔබ හරි. මමත් මියගිය කෙනාගේ දේහය බලන්නටත් එතරම් කැමැත්තක් නැත්තේ, ඒ සැබෑ මතකයට ආදරේ නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මැරිච්ච කෙනාගේ පින්තූර ගන්න එකයි අනික් විකාරේ.

      Delete