Saturday, August 6, 2016

බාචි සුසාන් කපුගේව මංමුලා කිරීම! | Hiru ate Kapuge!


           ලේඛකයා ඉතාමත් කැමති ගායකයන් අතර ගුණදාස කපුගේ ඉහලම ස්ථානයක සිටින්නෙකි. ඒ, කපුගේ ඔහුගේ ගමට යාබද බටුවන්හේනේ ඉපදුනෙකු නිසාම නොවේ.ලාංකික ගායකයන් අතර වඩාත් පෞරුෂවත්ම කටහඬ කපුගේ සතු විණි යැයි ලේඛකයා විස්වාස කරයි.ඔහුගේ කටහඬ ඇසෙනා විට අපට හැඟෙන්නේ ඉහල වේදිකාවක සිට පහල ඕඩියන්සයේ ( odiance ) රසිකයන් අමතන සුඛෝපභෝගී කටහඬක් නොව අප අතරම සිටිනා අපේ මිනිසෙකුගේ හඬකි.ඒ අප මෙන්ම කන බොන, රණ්ඩු සරුවල් කරගන්නා , අඟහිඟ කම්වලට මුහුණ පානා අපේ පංතියේ පීඩිත මිනිසෙකුගේ ළයාදර හඬ ය.


         ස්වරය එසේ වුව කපුගේ අසාමාන්‍ය මිනිසෙකු විය.කිසි දිනෙක බලවතුනට හිස නොනැමූ හේ තම හෘද සාක්ෂියට අවංකව ගැයුවේය. කතා කළේය.ජීවත් වුණේය.එහෙයින්ම ඔහු ආදර්ශමත් චරිතයක් විය. කපුගේ නිතරම සොයා ගියේ ජොනි වෝකර්, වැට් 69 වැනි සුපිරි මත්පැන් නොව 'ගමේ බඩු' ය.දඬුවම් මාරුවක් ලෙස ලැබුණු රජරට සේවයේ රාජකාරියද ඔහු යොදා ගත්තේ ප්‍රේම් ( ප්‍රේමකීර්ති ද අල්විස් ) සමග එකතුවී රජරට දක්ෂයන් සොයා යාමටය. දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ වැනි ගායකයෝ එයට නිදසුන් වෙති.

         මෙය කපුගේගේ සංගීත දිවිය අලලා කෙරෙන පර්යේෂණයක් නොවන බැවින් කපුගේ ගැන සටහන මෙතෙකින් හමාරය! කපුගේගේ මරණය අලලා බණ්ඩාර ඇහැලියගොඩ ලියූ මේ පැදිපෙළ ඔහු කවුරුද යන්න අපට කියයි.
                      ( උපුටන)
                                    "දිගු ඇඟිලි අග රැඳුනු - මියුරු සත්සර නොඑන
                                     සංගීත කාමරය පාලුයි
                                     ඉඳිකඩින් පැන එන්න -මග බලාගෙන ඉන්න
                                     අම්මාගෙ අස්වලත් කඳුළුයි

                                     අපට යා නොහැකි මග - පහසුවෙන් ඇවිද ගිය
                                     වරෙක සුළි සුළඟ වූ - සොඳුරු මඳනල ඔබය
                                     අපේ පපු කුහර තුල - නහර ඇට මිදුළු තුල
                                     නින්නාද දී ඇසෙන - ගැඹුරු කටහඬ ඔබය "
                                                                                                      (නුපුටන)

     ඉතිං මෙන්න මේ කපුගේ ගේ ගී ගැයුණු වැඩසටහනක් ඊයේ රාත්‍රී හිරු ටෙලිවිශනයේ තිබුණේය. කපුගේට කැමති රසිකයෙක් ලෙස ලේඛකයාද ඉතා ආසාවෙන් මෙය නැරඹීමට හිඳ ගත්තේය.මෙහි ගී ගැයුවේ එකිනෙකට වෙනස් ආරයන්ගෙන් ගී ගයනා ගායකයන් රැසකි. කියන්නත් කනගාටුය! නව පරපුරේ දක්ෂ ගායකයෙකු වන බාචි සුසාන් නම් කපුගේ ගේ ගීත අමු අමුවේම අනුභව කළේය.

    මෙහිදී ගී ගයන අය කපුගේ ගේ කටහඬ එලෙසම අනුකරණය කල යුතු යැයි නීතියක් තිබුණේ දැයි ලේඛකයා නොදනී. ඔහු සිතන ලෙස එවැනි නීතියක් නොතිබුණි. එහෙයින් ඉතාමත් ආකර්ශනීය කටහඬක් ඇති සුසාන්ට සිය පියවි හඬින් ගැයීමට කිසි බාධාවක් නොතිබුණි. තරුණ ගායකයන් අතුරින් ලේඛකයා ඉතා කැමැත්තෙකි බාචි සුසාන්. ඔහුගේ ' හිමි නොවුණු නෙතු රැඳුනු', 'මග බලා හඬන'වැනි ගීත කිසිම ගීතයකට නොදෙවෙනි රසාලිප්ත ගී බව ලේඛකයාගේ වැටහීමයි.වත්මනෙහි ගී ගයන්නන් අතර ඉහලම තාරතාවක්(high pitch) ඇත්තේද ඔහුට බව සමහරු කියති.එවන් දක්ෂයෙක් අනුකරණය කල නොහැකි කපුගේ ගේ හඬ හඹාගොස් වැඩ වරද්දා ගත්තේ කුමටදැයි නොවැටහේ.

   'මංමුලා වී පාර සොයාගෙන ' ගීතය ගැයීමේදී සුසාන් ඒ ගීතය තුල සම්පූර්ණයෙන්ම මංමුලා වූ බවක් පෙනුණි. යාන්තම් හෝ වැඩේ ගොඩ දා ගත්තේ කපුගේ පුත් මිත්‍ර කපුගේ සහ කසුන් කල්හාර පමණි. 'මං හින්දා' ගීතයේදී ශෂිකා නිසංසලා නම් එයට උපරිම සාධාරණය කල බව ලේඛකයාගේ සිතුවිල්ලයි. ඇත්තටම කණගාටුය. අවසන් ලෙස දෙදාස් තුනේ අප්‍රේල් මස කපුගේ වෙනුවෙන් මංජුල වෙඩිවර්ධන ලියූ පැදියක් දක්වමි.
              (උපුටන)
                            " කොවුලෝ නුඹේ මලගමදා කනත්තේ
                               කපුටු කරවු ගින්දර පපු කැනැත්තේ
                               කවුරු එගින්දර නිවනට කැමැත්තේ
                               වවුලො ලගිති මධු ඉහිරෙන කැවුත්තේ "
                                                                                             (නුපුටන)

 ඒ ගී අසන විට ලේඛකයාටද සිතුනේ ඒ ටිකමය!


               

10 comments:

  1. ඊයේ රෝහන වීරසින්හ මහත්තයා නම් "මා නොවන මම" වැඩසටහන හොඳින් කලා...

    ReplyDelete
    Replies
    1. ඒක බලන්න උනේ නෑනෙ. අද සිරසෙ යනව නේද ප්‍රේම් ගැන හොඳ ප්‍රෝග්‍රෑම් එකක්? සසර සැරිසරන තෙක්.

      Delete
    2. ඔබ ගේ ඔත්තුව මත එහි ගොස් ඊයේ රෑ එය නැරඹුවා.... අනර්ගයි...
      ඔබට ඉස්තූතියි!

      Delete
    3. වැල්කොම් වැල්කොම්

      Delete
  2. Replies
    1. පත්තර මල්ලිත් ඉතිං අපේ ජනාධිපති තුමා වගේ පත්තරමනෙ බලනව ඇත්තෙ. නේද?

      Delete
  3. මුල් ඡේදයේ කියනා පරිදි කපුගේට ඇත්තේ ගැඹුරු පිරිමි හඩක්. මගෙත් ප්‍රියතමයන්ගෙන් කෙනෙක් වන ඔහුගේ හඩින් පීඩිත ජනතාවගේ දුක අපූරුවට ඉදිරිපත් වුණා
    "පිහිටක් නැති සරණක් නැති" ගීය මා වඩා ප්‍රිය කරන කපුගේගේ ගීවලින් එකකි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මං නං ගොඩක් ඒවට ආසයි. කපුගේගෙ සින්දු වල මං ආසම ඒව තමයි රත්න ශ්‍රී ගෙ කවිවලින් අරං ලියපුව. මගෙ බිසවුනේ, සොඳුර නුඹ ලිහිණියක, හන්තානේ කඳු දන ඇන නමදින වගෙ ඒව. ඇයි රන්බණ්ඩා ලියපුවත් පට්ට!

      Delete
  4. භාචී ඇදගෙන නෑවා.. එයාට පොඩි උණක් වැළඳිලා.. පොර මේනියාව.. එහෙම වැළඳුනාම ඔහොම වෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. අපරාදෙ හොඳ වැඩ්ඩො. අජන්ත මෙන්ඩිස්ට උණු දේම බාචිටත් උණොත් අපරාදෙ.

      Delete