Saturday, July 2, 2016

තුන් වරක් පෙරුවත් වඩිය සවුත්තු වීම.

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     පහත දැක්වෙන්නේ සරදියෙල්ගේ ගං තුලානේ ඇති කතන්දරයකි.                                                                                                                                                                       
එක්තරා යාලු මිත්තරයන් දෙදෙනෙක් ඉස්සර කාලේ රස්සාවට ගියේ එකටය. ඒ කාලේ අද මෙන් නානාප්‍රකාර යාන වාහන නොතිබුණු නිසා ඔවුහු රස්සාවට ගියේ දෙපා වාරුවෙනි. මේ යන ගමනේදී දෙදෙනාට කඩමණ්ඩියක් පසුකර යාමට සිදු විය. කල්යාමේදී දෙදෙනාගෙන් කෙනෙක් මෙන්න මේ කඩමණ්ඩියේ මුල්ලක ඇති කුඩා කඩපොඩ්ඩක් අසල විනාඩි දහය පහළොවක් නතර වීම සිදු විය. එතන නතර වන ඔහු තම මිතුරාට පවසන්නේ තමා තෙවරප්පෙරුමව මුණගැසී එනතෙක් ඉදිරියට ගමන් කරන ලෙසයි. දෙවැන්නාද හෙමින් හෙමින් ඉදිරියට යයි.ටික මොහොතකින් ඔහුට එක්වන පළමුවැන්නාගේ ස්වරූපය කඩයට ගොඩවැදීමට පෙර ආකාරයට වඩා වෙනස් බවද දෙවැන්නාට නොවැටහෙනවා නොවේ. මේ අටමගලය හැමදාමත් මෙසේ සිදුවනවිට මිතුරාට මෙය ගැටළුවක් විය. දිනක් පළමුවැනි මිතුරා නොපැමිණි දවසක දෙවැන්නා තනියම රස්සාවට ගියේය. තම මිතුරා වෙනදාට රිංගන කුඩා කඩය ඉදිරිපිට නැවතුන ඔහු උගුර පෑදීය.මුස්පෙන්තුවෙක් එලියට ආවේය.

"තෙවරප්පෙරුම මහත්තයා ඉන්නෙ මෙහෙද?" අපේ මිත්‍රයා ඇසීය.
"කවුරු?" ඒ මුස්පෙන්තුවාය.
"තෙවරප්පෙරුම" යලි අපේ මිතුරා.
"මෙහෙ ඇති තෙවරප්පෙරුමයෙක් නෑ" යැයි කිවූ මුස්පේන්තු මුදලාලියා ප්‍රශ්නකරු ගේ මුහුණටම කඩ දොර වසා දැමීය. අපේ මිතුරා දැන් අන්ද මන්දය.

පසුදින ඔහු මේ සිද්ධිය තම මිතුරාට, එනම් තෙවරප්පෙරුමව හඳුනන කෙනාට කීවේය.එවිට පළමුවැන්නාට හිනාවීමට මුඛය මදි විය. " යකෝ මං තෙවරප්පෙරුම කිව්වේ මිනිහෙට්ට නෙමේ".
"එහෙනං?" .
"ඒ කඩේ මුදලාලිය පෙරනවා. අපේ ගමේ බඩු වගේ නෙමේ. ඉස්පැශල් බඩු. ඌ තුං පාරක්ම පෙරලයි දෙන්නෙ.ඒකයි මං ඒවාට තෙවරප්පෙරුම කියන්නෙ".
දෙවැනි මිත්‍රයාට ද හිනාය. සංතෝසය. ඒ සංතෝසය නිසාම ඒ කඩේ මුදලාලිට ඔහු එතැන් හිට කීවේ තෙවරප්පෙරුම කියාය.
තෙවරප්පෙරුම නම එසේ උපන්නේලු!

මෙන්න මේ තෙවරප්පෙරුම නාමය ශ්‍රී ලාංකීය ධරණී තලය තුල බබලවන්නා වූද මේ නාමය දනන් තුඩ තුඩ රැව්දෙවන්නා වූද තෙවරප්පෙරුමයෙක් බස්නාහිර පළාතේ පස්යොදුන් කෝරලයේ පහලව ඇත්තේය. හේ කුළු හරකෙකු මෙන් නිර්භීතය.මන්ද වරක් තම පක්ෂයේ නායකයාට ගෞරව දැක්වීමට සැරසුනේ පුටුවකින් පහරදී පිහියක් ඉල ඇට කූඩුව අතරින් බැස්සවීම මගිනි.ඒ උත්තරීතර ( යැයි කියනා) පාර්ලිමේන්තුවේදීය.

තවද එතුමාණෝ එම්බාම්කරුවෙකු තරම්වත් මළමිනී අතපත ගෑමට භයක් නොදක්වන්නේය. වරෙක ඔහුගේ මන්ත්‍රී ආසනයට සැතපුම් ගණනාවක් ඈතින් තිබූ පෙදෙසක පුද්ගලයෙක් ලිඳකට පැන දිවිනසා ගත්තේයැයි ඔහුට ආරංචි විය. සිය යාලු මිත්‍රයන් හා කැමරා බල ඇණිය පිරිවරාගෙන තම ඩබල් කැබ් රියට නැගුනු එතුමා 'ක්‍රයිම් සීන් ' එකට යන විට මිනිය ගොඩ ගෙනය. එතුමාට මල ය. " දාපිය ඕක ආපහු". එතුමා කීය.මිනිය නැවත ලිඳට දැමූ පසු එතුමා ලිඳට බැස එය ගොඩගත්තේය.

එසේම හේ පුත්තලං බූරුවෙකුටත් වඩා තකතීරුය.
පසුගිය දිනෙක දකුණු පළාතේ 'නිරීක්ෂණ චාරිකාවක ' යෙදුනු අපේ කතා නායකයා සා ගින්දර නිවාගැනීම පිණිස අවන්හලකට ගොඩවැදුණේය. එහිදී සේවකයෙකු සමග පැටලුනු මෙතුමා බවලතියකගෙන්ද ස්වකීය මෑණියන්ව සිහිපත් කර ගත් බවද රටේ තොටේ කතාවිය. මෙතුමාගේ මෙවැනි වික්‍රම මෙතෙකින් කියා නිමකළ නොහැක. ඇත්තටම නං ඒවාට වෙනමම බ්ලොගයක් නිර්මාණය කල යුතුය. කමත්වා! ඒ  වික්‍රම පසුවට.

මෙන්න මේ සූර වීර උප ඇමැත්තා ( ආ! සමාවුව මැනවි. එතුමා කෙරේ ඇති අප්‍රමාණ භය නිසාම එතුමාගේ නායකයාණන් අලුත්ම ඇමති ධූරයක් සාදා දෝතින්ම එය අපේ වීරයාට පිළිගැන්වීය) පසුගියදා තවත් කස්තිරමක් ඇල්ලීය. එක්තරා පාසලකට ළමයින් භාර නොගත්තේ යැයි කියූ ඔහු ඒ පාසල අයත් කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් පටන් ගත්තේය. ( ඔබට විමල් වීරවංශයන් මතක් උණා නේද?)


එතුමාගේ හෙංචයියන් ඒ අස්සේ ටයර පුළුස්සා මාර්ගය අවහිර කර අමුතුම ආතල් එකක් ගත්තාහ. ළමයි හත් අට දෙනෙකු වෙනුවෙන් කල මේ අලකලන්චියෙන් පාසල් සිසු සිසුවියන් සිය දහස් ගණනකට සිදුවූ බාධාව සුළු පටු නොවේ යැයි තතු දත්තෝ පවසති. අදාළ පාසලේ විදුහල්පති වරයා හා අපේ වීරයා අතර ඇතිවූ සංවාදයක් අඩංගු  හඬ පටියක්ද මේ දිනවල අන්තර්ජාලය සිසාරා නද දෙනු ඇසෙයි. එහිදී විදුහල්පතිවරයා පවසන්නේ තමාට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නියෝග දුන්නේ මේ සිසුවන් ගැනීම ප්‍රමාද කරන ලෙස බවය.

විදුහල්පතිතුමා රාජ්‍ය සේවකයෙක් බවද, ඔහු ක්‍රියාත්මක කරන්නේ රජයෙන් පනවන නියෝග, චක්‍රලේඛ හා රෙගුලාසි බවද , ඔහු තම ඉහල නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු බවද මන්ත්‍රීවරයෙකු වීමට පෙර සුප්‍රසිද්ධ (නීතිවිරෝධී) මත්පැන් නිපැයුම් කරුවෙකු වූ මෙතුමාට අමතක වීම පුදුමයක් නොවේ. අපට පුදුම හිතෙන්නේ කිලෝග්‍රෑම් අසූවකට අධික බරකින් යුත් මෙවන් පුස් ඌරෙක් අබලන් සිවිලිං පංකාවක රෙදි පටියකින් එල්ලී දිවි නසාගැනීමට යාම ගැනය.

ඇත්තය! දරුවන් ගැන කැක්කුම ඇත්තේ දෙමාපියන්ටය.මෙතුමා දරුවන් ගැන අනුකම්පාවෙන් මේ මන්දමානසික ක්‍රියාන්විතයට එළඹිනැයි කෙනෙකුට තර්ක කල හැක. නමුත් එල්ලෙන්න නොගියාට උප ඇමැත්තෙකුට අධ්‍යාපන ඇමතිට කියා මේ උපකාරය ගත නොහැකිද?

ගැටලුව වන්නේ මෙය මේ තෙවරප්පෙරුමයාට  පමණක් ලඝු කල නොහැකි වීමයි. අපි දන්නා කියන සෑම රජයකම මෙවන් උන්මත්තකයන් සිටියහ. චන්ද්‍රිකාගේ රජයේ ඇස්.බී ද, මහින්දගේ රජයේ මර්වින් ද , වත්මන් රජයේ ජෝන් ද ලෙස පිස්සන් අටෝරාසියකි. නමුත් ඛේදවාචකය වන්නේ චන්දදායකයන් (අපිද ඇතුළුව) හැමදාමත් මොවුන්ට බැන බැන උන්ටම චන්දය භාවිත කිරීමයි. 

කවුදෝ මෙසේ කීය. "ජනතාවකට ලැබෙන්නේ උන්ට ගැලපෙන පාලකයන්ය".

                   








                                                                                                                                                    

2 comments:

  1. OHOMA THAMA DESHAPALANAYE HATI... WADE KIYANNE MINISSU OKUNTA KAMATHI..cww KANNAGRAWA PARADDUWETH APE EWUN THAMA BANZ.

    ReplyDelete
    Replies
    1. ඔවු.ඒත් අවුල මිනිස්සු කවදාවත් මේක තේරුම් ගන්නැති එකනෙ.

      Delete