Saturday, June 25, 2016

සිංහලේ අවසන් රජදහන.....The Last Kingdom Of Sinhaley.
















ඔබ එල්මෝ ජයවර්ධනව අසා තිබේද? මම සිතන ලෙස ඔහු අප්‍රසිද්ධ ලේඛකයෙකි. මම මුලින්ම ඔහුව හඳුනා ගත්තේ 'සැමීගේ කතාව' ( Sam's Story) කෘතියෙනි.ඉංග්‍රීසියෙන් ලියන ලාංකික ලේඛකයන් අතර ඔහු සුවිශේෂී අයෙකකු ලෙස මම දකිමි.මයිකල් ඔන්ඩච්චි වැනි එවන් කතුවරුන් මෙන් නොව එල්මෝ ජයවර්ධන තෝරා ගන්නේ පොදු ජනතාවට අති සමීප මාතෘකාවන්ය.'සැමීගේ කතාව' එයට කදිම නිදසුනකි. ඒ කෘතිය ඇසුරින් නිමවූ ජගත් චමිල ජාත්‍යන්තර සම්මාන ලබාගත් සිනමා පටයෙන් පසුව වුවද කතුවරයා ගැන මහජන අවධානය ප්‍රමාණවත් ලෙස යොමු නොවූයේ යැයි සිතමි. 'සැමීගේ කතාව' මට මතක ලෙස මා කියැවූයේ හයේ පන්තියේදීය.දෙන්න අදිමදි කරමින් එය මට දුන් බට්ටි (ඩිලාන්) ට තුති!

මෙම කතුවරයාගේ දෙවැනි පොත , නො එසේ නම් මේ ලිපියේ නිමිත්ත - සිංහලේ අවසන් රජදහන- මම කියැවූයේ මතුගම Rebuilding Foundation Library යට පින්සිදු වන්නටය.මතුගම අවට බොහෝ පාඨකයන්ගේ කියැවීමේ පිපාසාව සංසිඳුවන්නේ එය මිස කෙහෙල්මල් මහජන පුස්තකාලය නොවේ. රාජ්‍ය නොවන සංවිධානයකින් මෙහෙයවූවද එහි මෙහෙය අමිල ය. එයට පිං!

මම මතුගමින් මඳක් දුර බැහැර සිටින්නෙක්මි.එහෙයින් මම කැමති දවස් ගණනක් කියැවිය හැකි 'තඩි' පොත් වලටය.මාව මේ පොතට මුලින්ම ආකර්ෂණය කලේ එහි අන්තර්ගතය නොව විශාලත්වයයි. මතක හැටියට එය පිටු අටසීයකට කිට්ටුය. මම සිතුවේ එය දවස් ගණනක් කියවන්නටය. මම මගේ ජීවිතයේදී පරිහරණය කල විශිෂ්ටතම පොතක් මට හමුවූයේ එලෙසය. ඉතිං ... මම කියැවූයෙමි... කියැවූයෙමි...දිගින් දිගටම...එක හුස්මටම ....

ඒ පොතට මම කෙතරම් ලොබ බැන්දාදැයි කියතොත් එය මා පමණක් කියවා මදි බව හැඟුණි. එහෙයින් මට එය ඔබ සමග බෙදා ගැනීමට සිතුණි....මට මුළු පොතම අකුරින් අකුර විස්තර කිරීමේ අදහසක් නැත.මා විඳි චමත්කාරය විඳීමට අවැසි නම් ඔබටද මෙය කියවීමට ම සිදුවේ..


පොතට පෙරවදනක් සපයන ලේඛකයා ඔහුට මුරුසියේදී මුහුනපාන්නට සිදුවූ සිදුවීමකින් මේ පොතට පදනම වැටුණු බව පවසයි.

මොහුගේ සුවිශේෂත්වය ඔහු මේ කතාන්දරය හුදු කතන්දරයකට සීමා නොකිරීමයි. තත්කාලීන උඩරට හා මුහුදුබඩ බලප්‍රදේශයන්හි සමාජීය හා දේශපාලන විස්තරද ඔහු මැනවින් සිත්තම් කරයි.උඩරට රාජධානියේ පැවති අධිකරණ ක්‍රම , ආගමික වටපිටාව ආදිය දැනගැනීමට අධ්‍යාපන කෘතියකට වඩා මෙය අගනේය.

උඩරට රාජධානියේ ආරම්භය, උරුමකරුවන්ගේ විකාශනය , යුරෝපීයයන් එයට එරෙහිව දියත් කල අසාර්ථක ආක්‍රමණ යනාදිය රමණීයව දැක්වීමට හේ සමත්ය. එසේම වැදගත්ම දෙය නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන අපේ ඇති සාම්ප්‍රදායික කෝපයෙන් මිදී රජු එවැනි ම්ලේච්ඡ තත්වයකට පත්වීමට හේතු සොයා යාමට කතුවරයා උත්සුක වීමයි.



                                                       -ශ්‍රී වික්‍රම රාජසිංහ-









පොතට අනුව රාජසිංහ රජුගේ වියරුවට ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ උඩරට මහ නිලමේ වූ පිළිමතලව්වේ ප්‍රමුඛ බහුතර රදලයන්ගේ ආත්මාර්ථකාමී බල ලෝභීත්වය විසිනි. එසේම ජාතිය පාවාදීමට ප්‍රධාන මෙහෙයක් ඉටුකළ ඇහැලේපොල අධිකාරම ද මෙහි වැදගත් චරිතයකි.







-පිළිමතලව්වේ-






ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකරු සර් ෆෙඩ්රික් නෝර්ත් ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය මෙන්ම දෙවන ආණ්ඩුකරු මේට්ලන්ඩ් ගේ සාමකාමී ක්‍රියා පිළිවෙතද , අවසානයේ උඩරට දණගැස්වූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ විස්තරයද ජයවර්ධන මහතා මැනවින් නිරූපණය කරයි.
එසේම බ්‍රිතාන්‍ය සිවිල් නිළධර ජෝන් ඩොයිලි ලංකාවට බැඳී උමතු ප්‍රේමයත් ඔහු තුල මාතෘභූමියට තිබූ පක්ෂපාතීත්වයත් ඒ දෙකරුණු මැද ඔහුගේ සිතුවිලි ඝට්ටනය වූ සැටිත් ඔබටත් මටත් මෙහි පිටු අතර දැකගත හැක.
                                  -ජෝන් ඩොයිලි-

පිලිමතලව්වේගේ සැලසුම් , ඉංග්‍රීසීන්ගේ කුමන්ත්‍රණ හා රජුගේ කෲරකම් මැද සිංහලයාගේ වලදැමූ අයිතිය නැවත දිනාගැනීමට හොර රහසේ ක්‍රියාත්මක වූ නිදහස් ව්‍යාපාරයක් ගැන කතුවරයා පවසයි. සැබවින්ම මෙය වීරකාව්‍ය (Epics) නිර්මාණයේ ලා ලංකාවේ පෙර හමු නොවූ නව මානයකි. මීට පෙර අපට ජාතික වීරයන් මිස විමුක්තිකාමීන් හමු නොවීය. නමුත් ජයවර්ධනට අනුව මොණරවිල නිලමේ එවැන්නෙකි. ඉංග්‍රීසින්ගේ ආයුධ ඉංග්‍රීසින්ටම බාරදී අටසිය දහ අටේ කැරැල්ලට එකතු වූ මොණරවිල  නිලමේ ගැන මන බඳනා විස්තරයක් කතුවරයා ගෙන එයි. සැබවින්ම මෙහි වීරයා ඔහුය.


                                                         - මොණරවිල-

බලලෝභයෙන් උමතුව ගිය උඩරට රදලයන් අතර මොණරවිල නිලමේ මැණිකකි. කැරැල්ලේ උච්චතම අවස්තාවේදී ඔහු තම නිලය වූ  මහ නිලමේ කම ( එය දෙවැනි වූයේ රජුට පමණි ) පිලිමතලව්වේගේ පුත්‍රයාට තෑගී කරයි.
                                              -කැප්පෙටිපොල ගේ අත්සන-

එක්දහස් අටසිය දහඅට කැරැල්ල ගැන පුළුල් විවරණයක යෙදෙන කතුවරයා එය සිංහලයන් පරාජය වූයේ නිසි යුධ සංවිධානයක් නොමැති වීමෙන් බව ඔප්පු කරයි. අපේ සෙබලූ වූයේ ගොවීන්ය. නමුත් ඉංග්‍රීසින්ට ශක්තිමත් යුධ යාන්ත්‍රණයක් ද වෘත්තීය සෙබලුන්ද විය.එසේම රදළයින්ගේ කා කොටා ගැනීමද එයට මුල් විය.

කෙසේ හෝ අවසන අරගලය පරාජය විය. නමුත් එයට මුල් වූ කැප්පෙටිපොල වැනි වීරයන්ගේ නාමය තවමත් පවතී. කැප්පෙටිපොළට අමතරව කතුවරයා ඉහගම නම් කැරලිකාර  තවත් චරිතයක් නිර්මාණය කරයි. එසේම ඉහගම හා ඩොයිලි අතර ඇති වූ අසාමාන්‍ය මිතුරුදමද කතාන්තරය තවත් විසිතුරු කරයි.

අටසිය දහ අට කැරැල්ල ඉංග්‍රීසීන් අතිශය කෲරකම් මගින් මර්ධනය කළහ. එයින් පසු අපට රජෙක් අහිමි විය. ජාතියට කොඳු නාරටියක් අහිමි විය. අපට තවමත් ගැයීමට ඇත්තේ කුංකුනාවේ හිමියන් කැප්පෙටිපොල නිලමේට පැවසූ මේ කව පමණි.( ඔහුට කැරැල්ලට එකතුවීමට උත්තේජනය සැපයූවේ මේ කවියෙන් බවට ද කතාවක් පවතී)
                                 "අනේ කුහුඹුන්නේ - තොපටත් රජෙකු ඉන්නේ
                                 අපට නැත ඉන්නේ- ඒ නිසාවෙනි අපි තැවෙන්නේ
                                 අපේ කරුමෙද මේ වෙන්නේ?
                                 කිරිබත් කෑ හැකිය
                                 පෙරහැර කල හැකිය
                                 සාදුනාදෙන් ගිගුම් දිය හැකිය
                                 අපටත් රජෙක් හිටියා නං...."

ස්තූතිය - ආගිය කතා බ්ලොගය .

               "සිංහලයේ වීර චරිත  "- සුමනසිරි දසනායක.     










5 comments:

  1. කියෙව්වෙමි... ඉදිරිපත් කල ආකාරය ගැන වෙනත් මත ඇත. එහෙත් මා දැන් මත ගැටුම් වලට නොයමි.

    ReplyDelete
  2. සිරාවට? මාත් දැන් හිතන්නෙ ඒක තමයි. වාද විවාද වලින් කිසිම දෙයක් හරියන්නෙ නෑ කියලයි මටත් හිතෙන්නෙ. හැබැයි පොත නං කොලිටි. පැත්තක් නොගෙනයි ලියල තියෙන්නෙ.

    ReplyDelete
  3. පොත කියවලා නැහැ. අතීතය කියවද්දී අපේ රට ගැන ඇතිවෙන්නේ දුකක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් දුමී. ඇත්තටම දුකක් ඇතිවෙන්නෙ අතීතය කියවද්දී නෙමේ. අතීතය කියවල වර්තමානය දකිද්දී.

      Delete
  4. ගුණසේන ප්‍රකාශනයක් මිළ 1250 යි නේ හිහි. කියවන්න ආසාවෙන් ඉන්න පොතක්. කවදා හරි මගේම කරගෙන තමා නවතින්නෙ හෙහ්..

    ඔය යට දක්වල තියෙන කොරතුරු සවිස්තරාත්මකව කියවන්න හොදම එකම පොත තමයි තෙන්නකෝන් විමලානන්ද මහත්මයගෙ උඩරට මහ කැරැල්ල. ඒකත් ගුනසේන අර ගානමයි. කියවල බලහං වෙලාවක් තිබ්බොත්
    ජය

    ReplyDelete