Thursday, June 16, 2016

මම්මලේ මට ඇහෙනවා බං ඉකිබිඳින හඬ මේනකා..

           දීකිරි කෑවගේ සරදියෙල්.දීකිරි කෑවගේ අදාසි අප්පුගේ සහ ශ්‍රී වික්‍රම රාජසිංහගේ රාජකීය රුධිරයෙන් පැවත ආ පිචෝ හාමිගේ පළමු පුත්‍ර රත්නය. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් "අති භයානක" යන නම්බු නාමය හිමිකරගත් අතලොස්ස අතරට අයත් වූ එක් සිංහලයෙක්.සොරෙක්.මං පහරන්නෙක්.මිනීමරුවෙක්.ස්ත්‍රී ලෝලයෙක්. නමුත් නිර්භය හදවතක හිමිකරුවෙක්.
           මොනරවිල නිලමේ තුමාට , පුරන් අප්පුට සහ ගොන්ගාලේගොඩ බන්ඩා ට පසු ආයුධ සන්නද්ධව ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහි වූ එකම සිංහලයා.ලංකාවේ පළමු පොලිස් භට ඝාතනයට වරදකරුවා.
           ආයුධ සන්නද්ධවම ඉංග්‍රීසින්ට එරෙහිව සටන් කරමින් සිටියදී අවසන් වරට අත් අඩංගුවට පත් වෙනවා. එවිට ළඟ ඉන්නා එකම මිතුරා,සහායකයා, මම්මලේ මරික්කාර්. මරක්කලයා.
            සරදියෙල්ගේ ක්‍රියා අදටත් ප්‍රශ්නගතයි. ඔහු විමුක්ති අරගලකරුවෙක්ද? හුදු මංකොල්ලකරුවෙක්ද? උත්තර නෑ. නමුත් අටසිය දහඅට සහ අටසිය හතලිස් අට පරාජයන්ගෙන් ලැජ්ජාවට පත්ව හිටි සිංහලයන් තුල අරගලයේ පළමු ගිනි පුපුර දල්වන්නේ ඔහු....
            අටසිය හැට හතරේ සරදියෙල් මිය යන විට ... ඒ වසරේම උපදිනවා දොන් ඩේවිඩ් හේවාවිතාරණ. පසුකාලීනව අනගාරික ධර්මපාල. ජාතියේ ප්‍රාණ වායුව....
සරදියෙල්ගේ සහ මම්මලේගේ විවාහක නැගණිය මේනකා ගේ අසම්මත ප්‍රේමය පසුකාලීනව නන්නාඳුනනා තරුණයෙක් අකුරු වලට හරවනවා...රුවන්. රුවන් බන්දුජීව.
          ඔබට කොහොම වෙයිද දන්නෙ නෑ. මට නං බොක්කටම වැදුනා. මේක තියෙන්නෙ රුවන්ගෙ "මීළඟ මීවිත" පොතේ.  මෙන්න ඒක...

                                   තුංග උතුවන් කන්ද පාමුල
                                   කෝපිමල් අහුරක් තියා
                                   මම්මලේ මට ඇහෙනවා බං
                                   ඉකිබිඳින හඬ මේනකා....

                                   බංගලාවක් බින්ද දවසක
                                   හංගගෙන ආ රිදී කූරක්
                                   කෝපිමල් අහුරක්ම ගැවසූ
                                   කෙස් රොදක් අතුරින් යවා
                                   හිඟුල ඔය ළඟ වාඩිකර උඹ
                                   හැඩ බලන්නට ආයෙ දවසක්
                                   එන්නෙ නෑ මට මේනකා
                                 
                                   මම්මලේ මට ඇහෙනවා බං

                                   ඉකිබිඳින හඬ මේනකා....

.....
                               
                               
               

2 comments:

  1. කැමතිනං මේ ගැන ලියන්න . හොඳක් හෝ නරකක්. නරකක් නං ගොඩක් කැමති.

    ReplyDelete
  2. කැමතිනං මේ ගැන ලියන්න . හොඳක් හෝ නරකක්. නරකක් නං ගොඩක් කැමති.

    ReplyDelete