පහත දැක්වෙන්නේ සරදියෙල්ගේ ගං තුලානේ ඇති කතන්දරයකි.
එක්තරා යාලු මිත්තරයන් දෙදෙනෙක් ඉස්සර කාලේ රස්සාවට ගියේ එකටය. ඒ කාලේ අද මෙන් නානාප්රකාර යාන වාහන නොතිබුණු නිසා ඔවුහු රස්සාවට ගියේ දෙපා වාරුවෙනි. මේ යන ගමනේදී දෙදෙනාට කඩමණ්ඩියක් පසුකර යාමට සිදු විය. කල්යාමේදී දෙදෙනාගෙන් කෙනෙක් මෙන්න මේ කඩමණ්ඩියේ මුල්ලක ඇති කුඩා කඩපොඩ්ඩක් අසල විනාඩි දහය පහළොවක් නතර වීම සිදු විය. එතන නතර වන ඔහු තම මිතුරාට පවසන්නේ තමා තෙවරප්පෙරුමව මුණගැසී එනතෙක් ඉදිරියට ගමන් කරන ලෙසයි. දෙවැන්නාද හෙමින් හෙමින් ඉදිරියට යයි.ටික මොහොතකින් ඔහුට එක්වන පළමුවැන්නාගේ ස්වරූපය කඩයට ගොඩවැදීමට පෙර ආකාරයට වඩා වෙනස් බවද දෙවැන්නාට නොවැටහෙනවා නොවේ. මේ අටමගලය හැමදාමත් මෙසේ සිදුවනවිට මිතුරාට මෙය ගැටළුවක් විය. දිනක් පළමුවැනි මිතුරා නොපැමිණි දවසක දෙවැන්නා තනියම රස්සාවට ගියේය. තම මිතුරා වෙනදාට රිංගන කුඩා කඩය ඉදිරිපිට නැවතුන ඔහු උගුර පෑදීය.මුස්පෙන්තුවෙක් එලියට ආවේය.
"තෙවරප්පෙරුම මහත්තයා ඉන්නෙ මෙහෙද?" අපේ මිත්රයා ඇසීය.
"කවුරු?" ඒ මුස්පෙන්තුවාය.
"තෙවරප්පෙරුම" යලි අපේ මිතුරා.
"මෙහෙ ඇති තෙවරප්පෙරුමයෙක් නෑ" යැයි කිවූ මුස්පේන්තු මුදලාලියා ප්රශ්නකරු ගේ මුහුණටම කඩ දොර වසා දැමීය. අපේ මිතුරා දැන් අන්ද මන්දය.
පසුදින ඔහු මේ සිද්ධිය තම මිතුරාට, එනම් තෙවරප්පෙරුමව හඳුනන කෙනාට කීවේය.එවිට පළමුවැන්නාට හිනාවීමට මුඛය මදි විය. " යකෝ මං තෙවරප්පෙරුම කිව්වේ මිනිහෙට්ට නෙමේ".
"එහෙනං?" .
"ඒ කඩේ මුදලාලිය පෙරනවා. අපේ ගමේ බඩු වගේ නෙමේ. ඉස්පැශල් බඩු. ඌ තුං පාරක්ම පෙරලයි දෙන්නෙ.ඒකයි මං ඒවාට තෙවරප්පෙරුම කියන්නෙ".
දෙවැනි මිත්රයාට ද හිනාය. සංතෝසය. ඒ සංතෝසය නිසාම ඒ කඩේ මුදලාලිට ඔහු එතැන් හිට කීවේ තෙවරප්පෙරුම කියාය.
තෙවරප්පෙරුම නම එසේ උපන්නේලු!