Monday, August 8, 2016

මංගලජය, ඔබට ස්තූතියි! | Thanks for everything, Mangalajaya!



           ලංකාවේ ප්‍රසිද්ධව සිටි හා ප්‍රසිද්ධව සිටින නන්දසිරිලා කිහිප දෙනෙක්වම ලේඛකයා හඳුනයි. ( ඔවුන් ලේඛකයාව හඳුනන බව මින් අදහස් නොවේ .) ජ.වි.පෙ නිර්මාතෘ දොන් නන්දසිරි විජේවීර සහ වත්මනෙහි සිටිනා ප්‍රවීණම සිංහල ගායකයන් තිදෙනාගෙන් කෙනෙකු වන ආචාර්ය සනත් නන්දසිරි ඒ අතරින් ප්‍රධානය. මෙයින් ප්‍රථමයා ලේඛකයාගේ නවයොවුන් වියෙහිදී ඔහුගේ දේශපාලනික වීරයෙකු වූ අතර දෙවැන්නා අදටත් ඔහුට සංගීතයේ මිහිර ලබාදෙමින් නිදුකින් වෙසෙයි.එහෙත් අද ඔහු අකුරු අමුණන්නේ ඒ දෙදෙනා ගැනම කතා කිරීමට නොවේ.හාස්‍යයෙන් ඔහුව මුසපත් කල තෙවැනි 'නන්දසිරි වරයා' ගැන ඔබට කීමටය!
           හාස්‍ය රංගනය කවදත් ලේඛකයා කැමැති විෂයෙකි.එහෙත් ඒ හාස්‍ය මිස විකට රංගනය නොවේ. ලාංකික සිනමාවේ කිරුළු පලන් විකටයන් ලෙස සැලකෙනා ටෙනිසන් කුරේගේ සහ බන්දු සමරසිංහගේ රංගනයන් දෙක තුනක් හැරෙන්නට ඔවුන්ගේ සියලු රඟපෑම් ඔහු ඉවතලන්නේ එහෙයිනි.චාලි චැප්ලින්ගේ සහ රෝවන් ඇට්කින්සන්ගේ රඟපෑම් වලට අලගු තියන්නටවත් ඔවුන්ට නොහැකි බව ඔහුගේ පෞද්ගලික අදහසයි.සිංහල සිනමාවේ පැරණි විකට නළුවන් වූ එඩී ජයමාන්න හා ජෝ අබේවික්‍රම( ජෝ නම් පසුකාලීනව සුපිරිම මට්ටමේ චරිතාංග නළුවෙකු විය ) ආදීන්ගේ විකට රංගනයන් ගැන එතරම් දැනීමක් ලේඛකයාට නොමැත. ඔහු හොඳින් දන්නේ ෆ්‍රෙඩී සිල්වාගේ රඟපෑම් පමණි.ෆ්‍රෙඩී ගේ මුඛරි කියුම්, හාස්‍යොත්පාදක බැල්ම හා විකට ඉරියව් දැක ඉල ඇදෙන තෙක් සිනාසුනු ලේඛකයා සිතා සිටියේ ෆ්‍රෙඩීට ලංවෙන්නටවත් සමත් නළුවෙකු තම ජීවිත කාලය තුලදී දක්නට නොලැබෙනු ඇතැයි කියාය.එහෙත් ඒ ඔහු 'සිකුරු හතේ' සිනෙමා පටය නරඹන තෙක් පමණි.

         මෙය චිත්‍රපට ප්‍රචාරක දැන්වීමක් නොවන හෙයින්ද ඔබ ඒ සිනෙමා පටය නරඹා ඇතැයි ලේඛකයා සිතන හෙයින්ද ඒ පිලිබඳ වැඩිදුර අදහස් දැක්වීමකට ඔහු අදහස් නොකරයි. එහෙත් 'සිකුරු හතේ' තුල විජය නන්දසිරි නම් අසාමාන්‍ය හාස්‍ය නළුවා පතුරුවන රංගන ආධිපත්‍යය ( සුසිලා කෝට්ටගේ හා ඇන්ටන් ජූඩ් වැනි පළපුරුදු රංගධරයන්ව පරදවමින් ඔහු විදැහූ රංගන කෞශල්‍යය ගැන අන් කවරාකාරයකින් හඳුන්වමිද? ) ගැන ඔබගේ මතකය අවදි කිරීමට ඔහු කැමැතිය.

             හුදු හාස්‍ය රංගනයකින් සෑහීමකට පත් නොවන විජය තමා සේම එපමණකින් නොසෑහෙන රසික කැලක් තමාට සිටින බව වටහා ගත්තේය.එහෙයින්ම ඔවුන්ගේ ඒ අවැසිතාව සපිරීමට ඔහු අවංකව ක්‍රියාකළේය. ' සිකුරු හතේ ' තුලදී සාමාන්‍ය විකට මගුල් කපුවෙක් වීමෙන් නොනැවතුනු ඔහු තම දියණියගේ නිසි වයස ඉක්ම යාම ගැන තැවෙන, ගෙදර දොර අගහිඟකම් ගැන දුක්වෙන අතරම එයින් මිදීමට පිලියම් සොයන, බිරිඳගේ කංකරච්චලයෙන් මිදීමට මං සොයන අතිශය සාමාන්‍ය නමුදු සදාකල්හිම අමතක කර දැමෙන 'තාත්තා'ව අප හමුවේ තැබුවේය. ඔහුගේත් අනෙක් විකටයන්ගේත් වෙනස එයයි! ඔහුගේ මේ රංගනයට 'සිකුරු හතේ ' අධ්‍යක්ෂක ගිරා ( ගිරිරාජ් කෞශල්‍ය) ද මහත් මෙහෙයක් කල බව ලේඛකයාගේ මතයයි.එනයින් 'සිකුරු හතේ' සිංහල සිනමාවේ නව මානයක් විවර කල බව ද ලේඛකයාගේ අදහසයි.

             සිකුරු හතේ තුල තමාගේ බෙහෙවින් සිත් ගත් ජවනිකාව ගැන වදනක් දෙඩීමට ලේඛකයා කැමැතිය.හොඳටම බීමත්ව ත්‍රීවීලරයකට ගොඩවෙන මංගලජය ගාස්තුව විමසයි. එය රුපියල් එකසිය පනහකැයි පවසන රියැදුරාට මංගලජය බැනවදින්නේ මෙලෙසිනි." මල්ලි මේ අපි හැමදාම මේ පාරෙ යන උන්. අපි හැමදාම යන්නෙ දෙසීයට. දෙසීයට යනව නං යමු.ආව අපිව තම්බන්න"!
             
            එහෙත් විජයගේ අනෙක් සිනෙමාපට වූ 'කිංහන්තර්' සහ 'සුහද කොකා' ගැන නම් ලේඛකයාගේ එතරම් ප්‍රසාදයක් නොමැත.'කිංහන්තර් ' අධ්‍යක්ෂක ජයප්‍රකාශ් සිවගුරුනාදන් නම් කිසිසේත් ඔහුගේ කැමැත්ත දිනූවෙකු නොවේ. වසන්ත මොරගොඩ සහ නදීෂ් දික්කුඹුර ඉහලම තලයක පවත්වාගත් ' ඇන්ඩ් කොම්පැණි' දේශපාලන ප්‍රහසනයද සිවගුරුනාදන් අනා ගත්තේය. 'සුහද කොකා' තුලදී නම් තනිකරම බලපෑවේ ගිරාගේ දුර්වලතාවය යැයි ලේඛකයා සිතයි. 'සිකුරු හතේ ' ලැබූ බලාපොරොත්තු විරහිත සාර්ථකත්වය තුලින් ගිරා නොමග යාමත් කලාව තුල පට්ට ගැසූ මාතෘකාවක් වූ දේශපාලනය තම සිනෙමා පටයට යොදා ගැනීමත් එයට හේතු වී යැයි ඔහු සිතයි.

           'එතුමා' සහ 'යර්ස් බොස්' තුලින් රූපවාහිනී පරාසයද අතික්‍රමණය කිරීමට විජය නන්දසිරි සමත් විය. 'යර්ස් බොස්' හි බුද්ධිගෝචර ගේ කැස්සට සම කල හැකි කැස්සක් ලේඛකයා වැලිසර ළය රෝහලේදී පවා අසා නොමැත.විජයගේ ද්විත්ව චරිත නිරූපණය එහි සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ බව ඔහුගේ අදහසයි.

            ටෙලි නාටකයක වේවා සිනෙමා පටයක වේවා එන කියමනක් ජනතාව අතර නිතර නිතර භාවිත වීම එහි සාර්ථකත්වයට දෙස් දෙයි. " අයි නෝ ද ලෝ " එසේ ලේඛකයාට මතක මුල්ම කියමනය.'පබා' හි මර්වින් කියූ " කික්ම තමයි" , 'සිරි පැරකුම්' හි " මං රාජ කුමාරයෙක් නෙමෙයි ගමේ කොල්ලෙක් " ආදිය මිනිසුන් වැළඳගත් තවත් කියමන්ය. එහෙත් ඒ සියල්ලටම ඉහලින් ඇති කියමන් දෙකකි විජයගේ " ඇහුන්නෑ " සහ        " මල්ලි හරි මල්ලි". එසේ නොවේද?

          බලා සිනාසීමට පමණක් නොව සිනාසී සිතීමටද අපව පෙළඹවූ විජයගේ රංගනයන් වෙනුවෙන් 'එතුමාට' කිසිවක් දීමට ලේඛකයාට නොහැකිවිය. එහෙයින් වත්මනෙහි දිවෙන හරසුන්ම නාටකයක් වන 'මේ ආදරයයි' හි සන්තෝශි බල්හා කියන ලෙස මෙපමණක් කියමි.                                                                      ගොඩක් ගොඩක් තැන්කිව් විජය ! ගොඩක් ගොඩක් තැන්කිව්!
     




7 comments:

  1. නෝනාවරුනි මහත්වරුනි හී රගපෑ ප්‍රේම්ගේ චරිතයත් අපට අමතක කිරීමට නොහැකි චරිතයකි.
    විජය නම් වූ කලාකරුවාණනී, ඔබට නිවන් සුව පතමි!!!

    ReplyDelete
    Replies
    1. මට ඒ ප්‍රේම්ගේ කැරක්ටර් එක නං එච්චර මතක නෑ. හැබැයි ඒ ටෙලිය නං පට්ට කියල අහල තියෙනව.

      Delete
    2. එහෙව් උඹද විචාර ලියන්නේ.?

      Delete
    3. මේ හිච්චි සටහන විචාරයක් කියලද හිතන්නෙ?

      Delete
  2. විජය නන්දසිරිගේ අඩුව දේවිකා මිහිරාණිට පමණමයි.. (සාහසික ප්‍රකාෂයක් නොවේ.. සතියකට පසු සිඳු වන පරම සත්‍යය එයයි.)

    ජනපති අගමැති පටන් පාරේ ඉන්න හිඟන්නා දක්වා කමීඩියන්ලා ජෝකර්ලා ඉන්න රටක විජය තවත් එක්කෙනෙක් විතරයි.

    හැබයි ජනතාව ආදරය කළ කළාකරුවෙක් ලෙස විජ්ය කුමාරණතුංග, ජෝති යන අය අතරට ඔහුත් එකතු වේවී. ඒකට හේතුව ඔහු කමීඩියන් කෙනෙකු පමණක් නොව රත්තරන් හදවතක් තියෙන මනුස්සයකු වීම.

    ReplyDelete
  3. මං නං හිතන්නෙ නෑ දේවිකාටවත් මාස දෙක තුනක් යනකොට අඩුවක් දැනෙයි කියල ලොකුවට. විජයගෙ ගතිගුණ ගැන නං මං දන්නෙ නෑ රඟපෑම් ඇරෙන්න.

    ReplyDelete
  4. පී වී නන්දසිරි කියලාත් සංගීතඥයෙකු හිටියා!

    මෙන්න මාතලන් ලියූ ලිපියක්.
    http://maathalan.blogspot.com.au/2014/11/kamalasini-by-p-v-nandasiri.html

    ReplyDelete