Saturday, July 9, 2016

කොන්දක් ඕනෑ කර තිබේ | He Want A Spine


ප්ලිනි-ඔ-අපුලේයෝ නම් පුවත්පත් වාර්තාකරුවා වරක් ලේඛක ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් ගෙන් මෙසේ ඇසීය. " සංවර්ධනය වූ ධනවාදී රටවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදය ඒ ආකාරයෙන්ම තුන් වැනි ලෝකයේ රටවල ක්‍රියාත්මක කිරීමට හැකි වේ යැයි ඔබ සිතනවාද?".මාර්කේස් මෙසේ කීවේය." දියුණු රටවල ඇති ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ සංවර්ධනයේම ප්‍රතිපලයක් මිස කිසිදා සංවර්ධනය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපලයක් නෙමෙයි.ඒ ප්‍රජාතන්ත්‍රවාදය එලෙසම රෝපණය කරන්නට යාම සෝවියට් ක්‍රමය මේ රටවල පිහිටුවීමට කරන වෑයම තරමටම ව්‍යාජ අනුකාරක ප්‍රයත්නයක් පමණයි!"

වර්තමානයේ ලංකාව මුහුණ දී ඇති විකාරරූපී , අත්භූත දේශපාලන වාතාවරණය හා මේ ප්‍රකාශය මැනවින් සැසඳෙයි.ප්‍රජාතන්ත්‍රවාදයක් විඳීමට සුදුසු නොවූ ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට වෑයම් කිරීමේ අහිතකර ප්‍රතිපල වත්මන් ජනාධිපති වරයාද එහෙයින්ම රටේ ජනතාවද අඩුවක් නෑරම භුක්ති විඳිමින් සිටිති.


සරදියෙල් දේශපාලනික වශයෙන්ද ජාතික දැක්ම සම්බන්ධයෙන්ද වික්‍රමසිංහ - සිරිසේන හවුල සමග එකඟ නැත.එහෙයින්ම ගෙවුණු මැතිවරණ දෙකේදීම සරදියෙල් ඒ හවුල වෙනුවෙන් තමාගේ මනාපය භාවිත නොකළේය.සරදියෙල් විශ්වාස කරන්නේ රට පාලනය කිරීමට අවශ්‍ය පෞරුෂය ද දැක්මද ඒ දෙදෙනා සතුව නොපවතින බවයි. එසේ වූ පමණින් හිටපු ජනාධිපති රාජපක්ෂ ඒ අවැසිතා සියල්ලෙන් පරිපූර්ණ යැයි අදහස් නොකෙරෙයි. එහෙත් සාපේක්ෂව මොවුන් දෙදෙනාට වඩා රාජපක්ෂ දේශපාලන පෞරුෂයෙන් සපිරි නායකයෙක් විය. ඔබේ අදහස මගේ අදහසට වෙනස් විය හැක.කමත්වා!

අපේ කැමැත්ත දැන් අදාළ නැත. බහුතර මතයට අනුව රටේ ජනාධිපති බවට සිරිසේන මහතා පත්වී ඇත. ඔහුට රට පාලනය කිරීමට අවැසි පෞරුෂය නිර්මාණය කර ගැනීමට තවමත් නොහැකි වීම රාජ්‍ය යාන්ත්‍රනය ගෙන යෑමෙහි ලා ප්‍රධාන ගැටළුවක් වී තිබේ.මම මෙහිදී අගමැති වික්‍රමසිංහ ගැන කතා නොකරමි. ඔහුගේ ද එ.ජා.පාක්ෂිකයන්ගේද විශ්වාසය කවරක් වුවද තවමත් රටේ නායකයා ජනාධිපති වරයාය.අපි ඔහු ගැන කතා කරමු!

සම්මත නීතියට අනුව රටේ ප්‍රධානියා ජනාධිපති වරයාය.( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව- 30-1 වගන්තිය.) දහනම වෙනි සංශෝධනයෙන් ක්ෂුද්‍ර වෙනස්කම් කලද තවමත් බහුතර බලය රඳා පවතින්නේ ජනාධිපතිවරයා අතය. සන්නද්ධ සේවාවන්හි අණ දෙන්නා ද ඔහු වන අතර ( ආ.ව්‍ය. 30-1 ) අමාත්‍යවරුන්ව පත් කරන්නේද ඔවුන්ව අධීක්ෂණය කරන්නේද ජනාධිපති විසිනි.(ආ.ව්‍ය.44 -1 -අ, ආ වගන්ති). එසේම අගවිනිසුරුවරයා ද ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ සියලු විනිසුරු වරුන් පත් කිරීමේ බලයද පහ කිරීමේ බලයද ඔහු සතුය.( ආ.ව්‍ය. 107-1,2 වගන්ති ). මේ සියලු බලතලවට ව්‍යාතිරේඛ හෙවත් සීමා කිරීම්ද ඇති බව සැලකිය යුතුය. මේ සිරිසේන මහතාගේ බලතල වලින් කොටසක් පමණි.විධායක ජනාධිපතිට කල නොහැක්කේ පිරිමියෙක් ගැහැනියක කිරීම හා එහි විලෝමය පමණක් බව මේ ක්‍රමය හඳුන්වා දී රට මරු කටට ඇද දැමූ හිටපු ජනපති ජයවර්ධන කීවේ නිකම්ම නොවේ.

කෙසේ හෝ මේ සා බලයක් හිමි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වර්තමානයේ පත්ව ඇත්තේ කෙතරම් ඛේදනීය තත්වයකටද? ඔහු සිය ධූරයට පත් වූ දා සිට ඔහුට අත් විඳින්නට සිදුවූ කටුක අත්දැකීම් බොහෝය. එයින් අපි දන්නා කිහිපයක් විග්‍රහ කර බලමු.

1. ඔහු ,නායකත්වය දැරීමට පක්ෂයක් නොමැතිව ජනපති ධූරයට පත් පළමුවැන්නාය. එම නිසා පාර්ලිමේන්තුවේදී සිදු විය හැකි කෙණෙහිලි කම් වලින් ( උදා-දෝශාභියෝග) ගැලවීමට ඔහුට පක්ෂයක් අවැසි විය. ඒ වෙනුවෙන් විවිධ සහනයන් පොරොන්දු වී මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රී.ල.නි.ප. යේ නායකත්වය ලබා ගත් ඔහු එහි සිටි කලින් ආණ්ඩුවේ හොර රැළට අනේක වරදානයන් ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පළමු ජාතික නායකයා වීමේ වරම ඔහුගෙන් ගිලිහිණ.

2.ඔහු මහාමැතිවරණය පැවැත්වූයේ තම නියෝජිතයන් රැසක් පාර්ලිමේන්තුවට පත්වෙතැයි යන අපේක්ෂාවෙනි. එහෙත් එය කඩ වූ නිසා පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට ඔහුට සිදු විය. එසේම ආණ්ඩුවක් පිහිටුවීමට එ.ජා.ප. යට මන්ත්‍රීවරුන් මදි වූ නිසා මහින්දට හිතවත් රැසකට ඇමති ධූර ලබා දීමටද සිරිසේන මහතාට සිදු විය. ( ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා වැන්නවුන් ආණ්ඩුවේ සිටින්නේ සිරිසේනට ඇති හිතවත් කමකට නොවේ. බල තන්හාවකටය. රැල්ල මහින්දගේ පැත්තට ගසතියි හැඟුණ වහාම පැත්ත මාරු කිරීමට ඔවුහු පසුබට නොවෙති.). එයින් මෙයින් ජනතාව සිරිසේන මහතා වෙත තබා තිබූ විශ්වාසය බොහෝ අඩු විය.

3.මහාමැතිවරණයට කලින් ඔහු රාජපක්ෂට නම් නාමයෝජනා දෙන්නේ නැතැයි දිවුරා කීවේය. අවසානයේදී නාමයෝජනා දී කීවේ ශ්‍රී.ල.නි.ප.යේ  ලොක්කන්ගේ බලවත් ඉල්ලීම නිසා එසේ දුන් බවය!එසේ කියා මැතිවරණය අවසාන වන තෙක්ම මහින්දගේ ( එනම් පක්ෂයේ) කකුලෙන් ඇද්දේය. අගමැති කම නම් දිනුවත් නොදෙන බව කීවේය. ඔයින් මෙයින් සාමාන්‍ය ශ්‍රී ලංකා කාරයාට සිරිසේනව වහකදුරු විය.

4.මහමැතිවරණයෙන් පසු මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය හයිඩ් පිටියේ පැවැත්වූ රැලියට පක්ෂයේ අනුමැතිය නැති බවත් එයට සම්බන්ධ වන සියල්ලන් පක්ෂයෙන් එලවා දමන බවත් සිරිසේන සහ ශ්‍රී.ල.නි.ප.යේ ඔහුගේ මිත්‍ර ප්‍රබලයින් කීය. ඒ කිසිවක් සිදු නොවීය.

5.මැයි පළවෙනිදා කිරුලපන පැවැත්වූ මැයි රැලියට සහභාගී වන සියල්ලන්ට ද තරාතිරම නොබලා දඬුවම් දෙන බව සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.ප. නායකයන් කීවද ඒවා සියල්ල හිතලුවක් විය. මේ කරුණු දෙක නිසා ඔහුගේ දේශපාලන ශක්තිය ගැන ඔහුගේ ආධාරකරුවන් ගේ විශ්වාසයද කඩ විය.

6.ජනාධිපතිවරයාට අත්‍යාවශ්‍ය සාධකයක් වූ දයාසිරි ජයසේකරව ආණ්ඩුවට ගෙන ඇමති ධූරයක් ලබාදීමට වෑයම් කිරීමේදී හරීන් ප්‍රනාන්දු එය සිදු කළහොත් තමා රජයෙන් ඉවත් වන බවට තර්ජනය කළේය. අවසානයේදී දයාසිරිව ආණ්ඩුවට ගත්තේ හරීන්ට වැඳලා මෙන් ශේප් කරගෙන බව ආරංචි විය.

7.වැට් බදු වංචාවට පසු විශාලම වංචාව වූ මහබැංකුවේ  බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ට විරුද්ධව රටේ විශාල ජනමතයක් ගොඩ නැගුණි. සිරිසේන මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට මූලික වූ සිවිල් සංවිධාන ද ඔහුට එරෙහිව පාරට බැස්සාහ. ජනාධිපතිවරයාගේ අභිලාශය වූයේද ඔහුව ඉවත් කිරීමය. එහෙත් අගමැති වික්‍රමසිංහ අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටියේය. ජනාධිපතිවරයා ගිරාඳුරුකෝට්ටේ රැස්වීමකට ගොස් කීවේ මහබැංකුවේ අධිපති ධූරයට එහි ජ්‍යෙෂ්ටම නිලධරයා පත් කරන බවය. එවිට ජනතාවට සිතුනේ මහින්දගේ කාලයේ ආරම්භ වී පසුගිය කාලයේ උච්චස්ථානයට පත් වූ මහ බැංකුව දේශපාලනීකරනය වීම දැන් අවසන් බවය. එහෙත් එය එසේ නොවීය. මහබැංකුවෙන් පරිබාහිර නිලධරයෙකුට එහි අධිපති කම අධිපති කම දිය යුතු යැයි යන ස්ථාවරයේ රනිල් තදින් සිටි අතර ඔහුගේ අභිප්‍රාය ඉටු විය.

8.රට මුහුණ දී ඇති බරපතල ආර්ථික අර්බුධය හමුවේ රජයේ වියදම් කපා හැරීමේ පළමු පියවර ලෙස සියලු වාහන බලපත්‍ර අහෝසි කිරීමට ජනපති තීරණය කළේය. එය විප්ලවීය පියවරකි.එහෙත් විසර්ජන පනත් කෙටුම්පතට අවැසි සහය ලබා ගැනීමට ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රී සහය ලබා ගැනීමට ඔවුන්ට වාහන බලපත්‍ර දීමට ඔහුට සිදුවිය." උන්ට හොඳ නම් අපිට නරකදැ"යි ඇසූ වෙද්දු ද පාරට බැස්සාහ. විධායක නිලධාරීන් ද අරකුන් මේකුන් සියල්ලද අරගල කරන්නට පටන් ගත්හ. ජනපතිගේ වැඩේ ලත් තැනම ලොප් විය.

9.වර්තමානයේ සමාජයේ විශාලම කතිකාවත වන වැට් බද්දද තවත් ජනාධිපතිගේ දුර්වලත්වය පෙන්වන සාධකයකි.රටේ මුදල් නැත්නම් කල හැකි ප්‍රධානම ක්‍රියාමාර්ග තුනකි. පළමුවැන්න මුදල් අච්චු ගැසීමය. දෙවැන්න මහබැංකුවේ බැඳුම්කර නිකුතුවය. තෙවැන්න බදු ඉහල නැංවීමය. පළමු ක්‍රියාමාර්ග දෙකම දැන් කල නොහැකි නිසා තෙවැන්න ක්‍රියාත්මක කල යුතුය. නමුත් මෙහිදීද ජනාධිපතිගේ දේශපාලනික නපුංසක කම හරහට හිටී. රටේ ජනපති කටයුතු කල යුත්තේ වෙළඳ සංගම් වල අතලොස්සක් කියන හැටියටද? නැත. බදු අවැසි නම් බදු ගැසිය යුතුය.

10.අනෙක් කරුණ සයිටම් ය. මහින්ද රාජපක්ෂගේ කාලයේ ඔහුට භයෙන් කට වසාගෙන සිටි හිවලුන් සිංහයන් සේ රඟන්නේ දැන් ය. නවීන් ද සොයිසා හා කාලෝ ෆොන්සේකා එකල කොහි සිටියේ දැයි මා නම් නොදනිමි.රටේ ජනාධිපතිද සෞඛ්‍ය අමාත්‍යාංශයද තීරණ ගත යුත්තේ වෙද්දු දෙතුන් දෙනෙකුට උවමනා හැටියටද?

සදාම් හුසේන් ගේ කාලයේ ඉරාකයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොවීය. මාධ්‍ය නිදහසක් ද නොවීය.මානව හිමිකම් කොහෙත්ම නොවීය. එහෙත් සදාම් ඉරාකය අභ්‍යන්තර හා බාහිර අවුල් වියවුල් වලින් තොරව තබා ගත්තේය. පාලකයෙකුගේ මූලික කාර්යය එයයි. සෙස්ස පස්සටය. සදාම් ගෙන් පසු ඉරාකයට වූ දේ හා එයින් ලෝකයට වූ දේ ඔබ දන්නවා ඇත. මම නොකියමි!

මහින්දගේ ද කුමන අඩුපාඩු තිබුනද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විය. සිරිසේන මහතා සතු නොවන්නේද ඒ ශක්තිමත් බවමය. වරදවා වටහා නොගන්න! මෙය සංවරණ හා තුලන ක්‍රමය නොවේ.ප්‍රජාතන්ත්‍රවාදයද නොවේ. වත්මන් ජනාධිපති මේ පෙන්වමින් සිටින්නේ රාජ්‍ය පාලනයේ ලා තම නොහැකියාවය.

ඊනියා යුද්ධය( එය යුද්ධයක් නොවේ. රාජ්‍යට එරෙහිව කැරලි ගැසූවන්ට විරුද්ධ හමුදා මෙහෙයුමක් පමණි .) කාලයේ මෙතුමා සිටියා නම් අද මෙහෙයුමක් අරඹා හෙට සටන් විරාමයකට යනු ඇත. නැවත අනිද්දා මහා සංග්‍රාමයක් අරඹනු ඇත. මොහු එසේ නායකයෙකි!

සිරිසේන මහතාට රාජ්‍ය පාලනයේ ලා අවැසි නියම උපදෙස් මලිත් ජයතිලක හා ශිරාල් ලක්තිලක ලබා නොදෙන්නේ නම් මම කියන්නේ හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායකව උපදේශක තනතුරට පත් කර ගන්නා ලෙසය. ඥානසාර හිමියන්ගේ ගැටලුවේදී ඔහු පෙන්වූ අනම්‍ය ස්වභාවය ( එය සිංහල බෞද්ධයන්ගේ හිත් රිදවූවද) රාජ්‍ය නායකයෙකුට ඉතා වටනේය.

දෙදාස් දහය වීර චාරිකාවේදී ආතර් සී. ක්ලාර්ක් මෙසේ කීවේය. " නියමුවෙකුට වරදින්න පුළුවනි. හැබැයි කවදාවත් වැනෙන්න බෑ."   නායකයෙකුට ද එසේමය!


ස්තූතිය-   දිවයින ( 2016 ජූලි 3 ඉරිදා)
                රාවය (2016 ජූලි  10 ඉරිදා )
                ඉරාකයේ දියණිය මයාඩා - ජීන් සෙෂන්.
                පැහැරගෙන යාමක් පිලිබඳ ආරංචිය - ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්.
               " තේරුමක් නැති තහනම් කතා " බ්ලොගය.
                දෙදාස් දහය වීර චාරිකාව- ආතර් සී. ක්ලාර්ක්.

7 comments:

  1. Horakama MR witharak nowei MR. Clean suit that adaylayi. Raniluth horek. Horakama sapekshawa hamoma karanwa.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.වැඩේ තියෙන්නෙ මේ යක්කු අපිට මුකුත්ම දෙන්නෙ නෑනෙ. උන්ම හොරකං කර කර උන්ම කනව.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. වික්ටර් අයිවන් කියන්නේ ඇත්තක් නම්, රනිල් නැවතත් හෝම් වර්ක් කිරීමට ලෑස්ති විය යුතුය. මන්ද මෛත්‍රිට රනිල්ට වඩා ගැලපෙන්නේ මහින්දය.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී ටත් වඩා ශ්‍රී ලංකා එකේ නායකයො රැලට මහින්දව ඕනෙ. ඒ රටට තියෙන ආදරේකට නෙමෙයි. බඩට තියෙන ආදරේට.

      Delete
  3. // සරදියෙල් දේශපාලනික වශයෙන්ද ජාතික දැක්ම සම්බන්ධයෙන්ද වික්‍රමසිංහ - සිරිසේන හවුල සමග එකඟ නැත.එහෙයින්ම ගෙවුණු මැතිවරණ දෙකේදීම සරදියෙල් ඒ හවුල වෙනුවෙන් තමාගේ මනාපය භාවිත නොකළේය.සරදියෙල් විශ්වාස කරන්නේ රට පාලනය කිරීමට අවශ්‍ය පෞරුෂය ද දැක්මද ඒ දෙදෙනා සතුව නොපවතින බවයි. එසේ වූ පමණින් හිටපු ජනාධිපති රාජපක්ෂ ඒ අවැසිතා සියල්ලෙන් පරිපූර්ණ යැයි අදහස් නොකෙරෙයි. එහෙත් සාපේක්ෂව මොවුන් දෙදෙනාට වඩා රාජපක්ෂ දේශපාලන පෞරුෂයෙන් සපිරි නායකයෙක් විය //

    ජයවේවා!

    අප්පටසිරි... සරදියෙල් එල කොල්ලෙක් නේ...

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ඉස්තූතියි!

      Delete