Friday, July 22, 2016

ඇහෙනවද ඒ සිනා සද්දේ...
















සරදියෙල්ගේ මවට සොයුරන් සදෙනෙකි.එනම් සරදියෙල්ට මාමාවරුන් සයකි.පණ්ඩුකාභයට වඩා සරදියෙල්ට අඩු වන්නේ එක මාමෙකි.මොවුන් අතරින් සුවිශේෂී චරිතයකි බෙන්තර අඩවියේ වෙසෙන සුද්ද මාමා.තම මාමලා අතරින් තම නිවසේම වෙසෙනා මාමා හැර හිත හොඳම එකා ලෙස සරදියෙල් සලකන්නේද ඔහුවය.එසේම පොඩ්ඩ ඇත්නම් කේන්ති යන චරිතයකි මොහු.මේ සරදියෙල්ගේ මාමලා ගැන කතා කරන ලිපියක් නොවන නිසා 'මාමා වරුණ' මෙතනින් නිමියේය. දැන් මාතෘකාවට!
මේ කියන සුද්ද මාමාගේ බිරිඳ මැණිකෙ නැන්දාය.ඈ නං සුද්ද මාමාටත් වඩා හොඳය.සුද්ද මාමා අමනාප වුවද එය සමනය කරන්නට මැදිහත් වන්නීද ඇයය. මේ ඔහු සරදියෙල්ලා හා අමනාප වූ එක්තරා කාලයකි.හේතුව හරියටම මතක නැතත් සරදියෙල්ගේ පියාගේ මළගම දා සිදුවූ යම් නොපැහැදීමක් යැයි සිතමි.ඒ මළගෙදරින් පසු මාස හත අටක් යන තුරු ඔවුහූ සරදියෙල්ගේ පවුල හා ප්‍රිය මිතුරු සබඳකම් නොපැවැත්වූහ.ඒ  ගැන මැණිකෙ නැන්දා නම් බලවත් සිත් තැවුලට පත්ව සිටි බව සරදියෙල් දනී.

කාලයකට පසුව දවසක මැණිකෙ නැන්දාව රෝහල්ගත කළා යැයි ආරංචියක් ආවේය. ඒ ඔවුන්ගේ අහල පහලම බෙන්තර රෝහලට බැවින් සරදියෙල්ලා එතරම් කලබල වූයේ නැත. එහෙත් පසුව ආරංචිය ආවේ ඇයව නාගොඩ රෝහලට ඇතුලත් කල බවයි. මැණිකෙ නැන්දාව තම සොයුරියක් ලෙස සැලකූ සරදියෙල්ගේ මව බෙහෙවින් කලබල විය.ඒ ක්ෂණයෙන් පැමිණි පුවත වන්නේ ඈ මහරගම පිළිකා (දැන් අපේක්ෂා) රෝහලට රැගෙන ගිය බවයි.

සැනින් එක්කාසු වූ සරදියෙල්ගේ  නෑයන් රොත්ත ඈ බැලීමට ගියහ. ඔවුන් ඒ ගමන ගියේ මහ වැස්සක බව සරදියෙල්ට මතකය.සරදියෙල්ගේ අම්මා ගෙදර ආවේ කඳුළු පිරුණු දෙනෙතිනි." මැණිකෙට අමාරුයි පුතේ" අම්මා කීවාය.ඈ ඒ අසනීප මැද්දේද අම්මට කියා තිබුණේ තමාට යමක් සිදු වුවහොත් තම දරුවන් ටික බලා ගන්නා ලෙසය. අම්මලාගේ හැටි!

ඉතිං ප්‍රිය සහෘදය...දින දෙකකට පසු සරදියෙල් ඇඳේ පොඩි නින්දක සුව වඳිමින් සිටියදී දුරකථනය නාද විය.එයට පිළිතුරු දුන් අම්මා කාමරයට ආවා නොව දිව්වාය."මැණිකෙ නන්ද නැති වෙලා පුතේ".ඈ විලාප දුන්නාය. මැණිකෙ නන්දා අම්මාගේ සොයුරිය නොව නෑනාය.නෑනා වෙනුවෙන් අඬනා කෙනෙක්ව සරදියෙල් දැක්කේ සිය කෙටි ජීවිත කාලයේ ප්‍රථම වතාවටය. එයින් ඔබට මැණිකෙ නැන්දා ගැන හිතා ගත හැක!

මැණිකෙ නැන්දා සහ සුද්ද මාමා තරම් ආදරයෙන් හිටි වෙනත් යුවලක් සරදියෙල් දැක නැත. විහිලුවට හෝ ඔවුන් රණ්ඩු වනු සරදියෙල් ට නුහුරුය. අම්මා කියන විදියට ඔවුන්ගේ දරුවන් කුඩා කාලයේ ඔවුන් අපමණ දුක් විඳ ඇත. එහෙත් මැණිකෙ නැන්දා නොවේ කන්කෙඳිරි ගා ඇත්තේ.සුද්ද මාමා දිනක් සරදියෙල්ට කිවූයේ මෙහෙමය." නැන්ද කවදාවත් මං ඉන්නකොට කොට්ටෙක නිදා ගන්නෙ නෑ. හැමදාම නිදාගත්තෙ මගෙ අත උඩ" ඒ ඔවුන්ගේ ආදරේ තරමය. දැන් ඔවුන් ආර්ථික අතින් සවිමත්ය. ඒත් දැන් මැණිකෙ නැන්දා නැත!

මැණිකෙ නැන්දාව භූමදානය කර ගෙදර ආ පසු මලානික දෙනෙතින් යුතුව අහස දෙස බැලූ සුද්ද මාමා මෙසේ කීය." දැන් මට හැමදාම ඉන්න වෙන්නෙ බඩගින්නෙ පුතේ". " මැණිකෙ නැන්දගෙන් ඇරෙන්න බත් කෑවම බඩගින්න නිවෙන්නැද්දැ"යි සරදියෙල් ඇසුවේ නැත. මන්ද සරදියෙල්ද මිනිසෙක් බැවිනි.ආදරය කර ඇති ආදරය විඳ ඇති මිනිසෙක් බැවිනි!

කොහොම හෝ වයස  අවුරුදු හතලිස් නවයේදී  මියගිය ඇගේ මරණය සරදියෙල්ලාට ඉතිරි කලේ විශාල කම්පනයකි!

කාලය ඔහේ ගෙවී ගියේය!

තවත් අය මැරුනාහ. සමහරුන් ඉපැදුනාහ!

සරදියෙල් දෙවැනි වර උසස් පෙලට පාඩම් කරන කාලයේ අයියා කොහෙන්දෝ පොතක් උස්සගෙන ඇවිත් ඒ ආරංචිය කීවේය. බලද්දී ඒ පොත අයියාගේ අතිජාත මිත්‍ර දිනුක අයියාගෙනි.පොතේ නම ඔබ දනී.ඉහල චායාරූපයේ ඇත්තේ එයය.කතුවරයා රුවන් බන්දුජීව ය. පොත නම් තවමත් සරදියෙල් ළඟය. එය යලි හිමිකරුවාට දෙන්නේද නැත. කොහොම හෝ කලබලයට මේ පොත පෙරලාගෙන යද්දී විවිධ කවි හමු විය. " සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇද්ද", " කපුටන්ට කෝ උත්තර?" වැනි විවිධාකාර කවි ඒ අතර විය.

එහෙත් සරදියෙල්ගේ හිත පැහැරගත් කවි තිබුණේ එකකි. එය නම් මැක්සාය! සරදියෙල්ට හිතුණේ මේ කවිය නම් ලියා ඇත්තේ මැණිකෙ නැන්දාම බවය!

සරදියෙල් කවියෙක් නොවේ. ඔහුට කවිය නුහුරුය. මෙය ඔහු කියවූ පළමු කවිපොතය. එහෙත් එය අවසන් කවි පොත නොවූයේ මුල් පොතේ රස නිසාය. සරදියෙල් දැන් හොඳ කවි රසිකයෙකි!

මේ කවි විචාරය, ඒවායේ ශාස්ත්‍රීය කොළිටීන් විමසීමට  සරදියෙල්ට නොහැකිය. එහෙයින් පුළුවන් අයට කරන්නැයි ඉල්ලමින් සරදියෙල් ඒ මනබඳනා අකුරු කිහිපය බ්ලොග් අවකාශයට එකතු කරන්නේය.

                     බසයක් ප්‍රපාතයකට පෙරලී රියදුරු ඇතුළු 8ක් මරුට. 29කට බරපතලයි- පුවතක්.

                     ඒ වෙලාවෙ පාරට මීදුම බාල තිබ්බෙත් නෑ. මං හිටියෙ බස් එකේ ඉස්සරහම.අනිත් පැත්තෙන් වාහන ආවෙත් නෑ.ඒත් ඩ්‍රයිවර් එකපාරටම බස් එක හෙලට කැපුවා.- මගියෙක්.

                                         හැට තුන ඉරක් දාහතයි පහළොව එලවන 
                                         නන්දසේනගෙ ගැහෙන වමතින්
                                         වැටුණි දවසේ පළමු ගියරය
                                         ගොර ගොර හඬත් දීගෙන
                                         ඩිපෝවෙන් එලියට ආ බස් එක
                                         ඇරඹුවා කඳු සිඛර තරණය 

                                         දකුණු පස කණ්නාඩි පලුවෙන්
                                         පාර විමසූ වරක් ගානේ 
                                         පෙරෙයිදා තුං මාසෙ දන දුන් 
                                         බිරිඳ පමණයි ඔහුට පෙනුණේ 

                                         "තාත්තාගේ බස් එක "
                                         කඩදාසියක ඇඳ ඇඳ 
                                         ඉදිරිපස කණ්නාඩි පතුලෙන් 
                                         පුංචි පුතුමයි නිතර එබුණේ 

                                         නලා හඬ රැව් දී නැගෙද්දිත් 
                                         කන ළඟම බෙල් එක වදිද්දිත් 
                                         ඒ කිසිත් නොව නන්දසේනට 
                                         බිරිඳගේ හඬ පමණි ඇසුණේ 

                                         "ඉස්සරහ වංගුවක කන්දේ 
                                         පස් කඩන් වැටිලාලු නන්දේ 
                                          ලඟට ආවම මං කියන්නං 
                                          ඔයා එළවන් යන්න නන්දේ 

                                          රෑට මොනවද කෑවෙ නන්දේ
                                          පුතා මොනවද ඊයෙ ඇන්දේ 
                                          කොන්ඩේ තනියෙන් ගොතා ගන්නට 
                                          දූට දැන් පුලුවන්ද නන්දේ

                                          කඳුළු පිරි කඳු වළලු මැද්දේ
                                          අර පෙනෙන බෑවුමේ ලන්දේ
                                          සිනාසෙන්නට තවම පුළුවන්
                                          එක තැනක් තියෙනවා නන්දේ

                                         ඇහෙනවද ඒ සිනා සද්දේ........"

සරදියෙල්ද ඔබෙන් අසන්නේය. " ඇහෙනවද ඒ සිනා සද්දේ?

ප.ලි.

සුද්ද මාමා සරදියෙල්ලා හා නැවතත් කුමක්දෝ නොවැදගත් කරුණකට අමනාප වී ඇත. සරදියෙල්ගේ අතේ වරදක් ද නොමැති හෙයින් ඔහු හා බලෙන් කතා කිරීමට සරදියෙල්ගේ මෝඩ ආත්මාභිමානයද ඉඩ නොදෙයි.

ඒත් සුද්ද මාමේ .. සරදියෙල් තවමත් ඔබට ආදරේය..

               

2 comments:

  1. මිනිස්සු අමනාප වෙනව. තේරුමක් ඇති දේවලට නෙවී අන්තිමට බලපුවාම. කෙහෙල්මල් ආඩම්බර කම පැත්තට දාල කතා කරන්න තරං බහුතරයකට නිහතමානි කමක් නෑ.
    රුවන්ගෙ වගේම හොද කවි පොතක් තමයි නුවන් තොටවත්ත දොස්තර මහත්තයගෙ හිණිපෙත පාමුල.. අහුවුනොත් කියවල බලන්න

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මචෝ. කියවල නෑ. හොයා ගන්නෝනෙ.

      Delete