Tuesday, October 15, 2024

පරිවර්තකයන් අතර පුරාවෘත්තය | The Legendary Translator

 සිංහල කියවන පාඨකයන්ට විශ්ව සාහිත්‍යය කෘතීන් හඳුන්වා දුන් , හඳුන්වා දෙන පරිවර්තකයෝ රැසෙකි. ඔවුනතෙරින් බොහොමයක් තම සිත් ගත්


  විවිධ ලේඛකයන්ගේ විවිධ කෘතීන් පරිවර්තනය කළෝය. කරති. සමහරෙක් එක් ලේඛකයෙකුගේ කෘතීන් සඳහා විශේෂඥතාවය දරති. ඔවුහු ප්‍රසිද්ධිය උසුළන්නේ එකී ලේඛකයා ගේ කෘතීන් සඳහා පමණෙකි.

එහෙත් අතළොස්සක් , මෙය ලියන මගේත් , කියවන ඔබේත් අතැඟිලි පමණට වන අතළොස්සක් හුදු මිනිසුන් ව පාඨකයන් බවට පත් කරති. කියැවන්නන් තනති. අපට හුරු පුරුදු පාඨයෙකින් කියතොත් 'ජාතියට කියැවීම හුරු කරති'.

අප මාතෘකා කැර ගන්නා මිනිසා එවැන්නෙකි.

ඔහු චන්දන මෙන්ඩිස් ය !

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ලේඛකයාගේ අත්දැකීම් වසර විස්සකට ආසන්නය. ඔහු ගේ මුල් ම පොත් ප්‍රදර්ශන ගමනේ සිට මෑතෙක දී පැවැත්වූ අවසන් පොත් සල්පිළ දක්වාම ඔහු නිරික්සූ කරුණෙක් තිබේ. එනම් ඕනෑම පොත් ස්ටෝලයක " ෂර්ලොක් හෝම්ස් අළුත් පොත තිබේදැ " යි විමසන්නන් අඩු ම තරමේ එකෙක් හෝ සිටින බවයි. මෙය චන්දන මෙන්ඩිස් විසින් ආතර් කොනන් ඩොයිල් සිරිමතුන් ගේ මුල් ෂර්ලොක් හෝම්ස් කෘතීන් සිංහලට පරිවර්තනය කරද්දී ද , පසුව බටහිර වෙනත් ලේඛකයන් ගේ හෝම්ස් කෘතීන් පරිවර්තනය කරද්දී ද , ඔහු විසින් ම ලියැවුණු හෝම්ස් කෘතීන් ප්‍රකාශයට පත් කරද්දී ද නොවෙනස් වුණු තත්වයෙකි.

චන්දන මෙන්ඩිස් යනු කවරෙක්දැයි හඳුනා ගැනීමටත් ඔහු සිංහල කතන්දර කලාවට කළ බලපෑම තේරුම් ගැනීමටත් මෙය ප්‍රමාණවත් වෙතැයි මට සිතේ.

ඔහු පරිවර්තනය කළ විවිධ කතුවරුන් ගේ නෙක පොත් එකින් එක ගැන විස්තර කර එයින් ඔබ වෙහෙසැවීමට ලේඛකයා අදහස් නොකරයි. ඒවා බොහොමයක් ඔබ දැන සිටින කරුණු බව ඔහු විශ්වාස කරයි. එහෙත් එක ම ලේඛකයෙකු ගේ හෝ එක ම ශානරයෙක පොත් සිංහලයට පෙරැළන පරිවර්තකයන් රැසක් අතර චන්දන මෙන්ඩිස් කෙතරම් පුළුල් පොත් රැසක් අපේ සාහිත්‍යයට එකතු කර ඇතිදැයි දැන ගැනීමට ඔහුගේ පරිවර්තනීය කාර්‍යයන්ගෙන් කිහිපයක් විමසමු.

( මෙහි දී ඔහු ගේ ප්‍රකට ම කෘති පෙළ වන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් පොත් ගැන සඳහන් නොවන බව සළකන්න. )

එක - ගිනිකන්දක් හරහා පොළව මැදින් සහ ලෝකය වටේ අසූ දවසකින් .

      මෙය සුප්‍රකට ප්‍රංශ ලේඛක ජූල්ස් වර්න් ගේ Journey to the Center of the Earth සහ Around the World in 80 Days නම් කෘති ද්විත්වයේ සිංහල පරිවර්තනයයි.

දෙක - යකාගේ නවාතැන.

      මෙය ඩැෆ්නි ඩූ මොරියර් නම් ඉංගිරිසි ලේඛිකාව ගේ Jameica Inn නම් ලෝ කැළැඹූ සන්ත්‍රාසාත්මක නවකතාවේ පරිවර්තනයයි.

තුන - ගැටකපන පුංචා.

      ලියොන් ගාෆීල්ඩ් ගේ Smith නම් ප්‍රකට ළමා - යොවුන් කථාවේ පරිවර්තනය මෙයයි.

හතර - සිහිනයක රැඳි රහසක්

       මැක්ස් අර්ලිච් නම් ලේඛකයා ගේ The Reincarnation of Peter Proud නම් වූ පුනරුප්පත්තිය ගැන කියැවෙන විවාදයට භාජන වූ කෘතියේ සිංහල පරිවර්තනයයි.

පහ - මෝරා

හැත්තෑව දශකයේ දී ලොව පුරා සිනෙමා රසිකයින් භීතියෙන් භීතියට පත් කළ ස්ටීවන් ස්පිල්බර්ග් ගේ Jaws සිනෙමා පටයට මුල් වූ පීටර් බෙන්ච්ලි ගේ Jaws කෘතියේ සිංහල පරිවර්තනයයි.

දැනට මේ ඇති !

ලේඛකයා මෑතක දී දුටු ෆේස්බුක් සටහනෙක විස්තරයෙකින් බ්ලොග් පෝස්ටුව අවසන් කරමි.

එක් පසෙක විවිධ පොත් වලින් පිරුණු විසල් පොත් රාක්කයෙකි. අනෙක් පස චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තනය කැරුණු 'මළගිය ඇත්තෝ සාක්කි දෙති' නම් ෂර්ලොක් හෝම්ස් කෘතියයි. ෆේස්බුක් සටහනේ කැප්ෂනය වූයේ මෙයයි.

අතනට යන්න ට හේතු වූයේ මෙයයි !

එපමණෙකි !