Tuesday, September 13, 2016

සීගිරි ළඳකගේ අම්මෙක්| A Seegiri women's mother


Sigiriya 21.jpg












සරදියෙල් කවි කියවන්නට ඉතාමත් ආසා ඇත්තෙකි.එහෙත් ඒ තමන්ට වැටහෙන සරල කවි මිස ගුණදාස අමරසේකරගේ බඳු මහප්පරාණ නොවේ.ඒ කවි අන් අයටද නොවැටහෙන බව මින් අදහස් නොවන අතර එය මට පමණක්ම අදාලය.
 
කොහොම හෝ හස්තය සේම පසුම්බියද  හිස් වුණු දිනෙක- සිල්ලරව කියන්නේ නම් අතේ සතේ නොමැතිව ලොස් වුණු දාක- කීයක් හෝ උපයා ගැනීම පිණිස මම මතුගම ලංකා බැංකුව වෙත ගියෙමි. මගේ ගිණුමේම තිබුණේ රුපියල් දෙදහසක් තරම් සෝචනීය වස්තු සම්භාරයක් බව මට මතකය. ඒ.ටී.එම්. කාඩයට පිංසිදුවන්නට අප දැන් බැංකුව තුල නිශ්චිත ඩිපොසිටයක් තැබීම අනිවාර්ය නොවන බැවින් මුළු ගිණුමම පසුම්බියට ඇදගෙන පසුම්බිය සේම හදවතද පුරවා ගත්තෙමි.


හෙණය කඩා පාත් වූයේ එවිටය. එය පැමිණියේ ආලෝක ධාරාවක් ලෙස නොව ශබ්ධ ධාරාවක් ලෙසය. ඇත්තෙන්ම එය ශබ්ද විකාශන යන්ත්‍රයකින් නිකුත් වූ එනවුන්ස්මන්ටයකි." හිතවත් පාඨක භවතුනි, අද ශාන්තමේරී පොත් ප්‍රදර්ශන බිමට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලද පැමිණෙන බව සංවිධායක කමිටුව ..."එහි සංක්ෂිප්තය එබඳුය.

මම කුමක් කරම්ද? දුර ඈත මස්ඉඹුලේ ඉපැදී , කොළඹ රටේ කරක් ගැසූ මෙකී ලේඛකයා අප වෙනුවෙන්ම අපේ ගමට පැමිණෙයි.ඉතිං මා අහක බලාගෙන කෙසේ යන්නෙම්ද?

ප්‍රදර්ශන බිමට රිංගාගත් මම මස්ඉඹුලගේ  රුවද දැක සම්භාෂනයේද මඳ වේලාවක් නිරතව සිට කවි පොත් තුන හතරක්ද තුරුල් කරගෙන පල්ලම් බැස්සෙමි. අවසන අතේ ඉතිරිවූයේ රුපියල් තුන්සියයකි.තවත් රුපියල් දෙක තුනකි.නිවෙසින් එන විට සැලසුම් කැරගෙන ආ පරිදි විමලධර්මයෙන් බිත්තර භාගයේ රෝලයක් කා ප්ලේන්ටියක් ගැසීමටද , මගේ තෙසක රියේ වාතය විරහිත ස්පෙයාවීලය අලුත් වැඩියා කිරීමටද මා අතැති මුදල නොසෑහෙන බව වැටහුණු පසු පොත් වල බරෙන් ඔද වැඩී තිබුණු මගේ ප්‍රභාශ්වර සිත ( මෙය මහාචාර්ය ගංගානාත්ගෙන් සොරාගත් යෙදුමකි.) සැණෙන් පලාගියේය. මහින්දගේද ප්‍රදර්ශනයේ සංවිධායකයන්ගේද මෑණිවරුන් ගරු පෙරටුව සිහිපත් කරලීමට මම නොපසුබට වුණෙමි. "මුන් ඔක්කොම එකතුවෙලා මට කෙළියා"!

දෙදහසක් ගෙන ඒමට ගිය පුත්‍රයා තුන්සියයක් රැගෙන ඒම ගැන කිපුණු මගේ මවගේ කෝපය-විශේෂයෙන්ම නිවෙසේ තඹයක්වත් නොමැති විටෙක - ඔබට සිතාගත හැකියි නේද?

කේන්තිය පිටම මම අතට ගත් පළමු පොත 'අහිපියන් ඇහැරිලා' ය. පළමු කවියෙන්ම මගේ ආයෝජනය අරුත්සුන් නොවේ යැයි වැටහුණි.

පළමු කවියේ මාතෘකාව මගේ ලිපියේ මාතෘකාවමය.

'සීගිරි කස්සප'.බෙහෙවින් විවාද සම්පන්න චරිතයකි. මගේ මතකය නිවැරදි නම් හේ සිංහල රාජාවලියේ            ( මෙයට ලාංකික රාජාවලිය යැයි නොකීම ගැනද අපේ සංහිඳියාවාදී උගතුන් කිපීමට ඉඩ ඇත.) පළමු පීතෘ ඝාතකයාය. ඔහු ගැනද ඔහුගේ පරපුර, රාජධානිය ගැනද සියලු විස්තර ඔබ මටත් වඩා දන්නා බව මා දන්නා හෙයින් වැඩි විස්තර අනවැසිය. මෙන්න කවිය!

                                මගේ පැදුරෙන් මිදී කෙල්ලට
                                වාසලට යන්නට වුණා
                                අනේ ඒකිගෙ කැකුළු ඇඟ-කඳ
                                හැමවෙලාවෙම සිහි වුණා
                                මාලිගාවෙන් අපේ ගෙපැලට
                                තෑගි-බෝගත් හිමි වුණා
                                සිහිල් ජල කෙළි-දුහුල් සළු පිළි
                                දුවට හිමි බව සැල වුණා

                                මහා සීගිරි ගලේ මුදුනක
                                උඹේ රුව සිත්තම් වුණා
                                එය බලන්නම හොරෙන් හවසක
                                මාත් එතනට ගොඩ වුණා
                                කරඬුවක් වගෙ උඹේ උඩුකය
                                අනෙක් උන් මැද දිලිසුනා
                                මගේ හුස්මක් ගැටී වෙන්නැති
                                දුවේ කළුගල හෙල්ලුනා

                                පපුව ටික ටික මෙලෙක් වෙනකොට
                                එන්න වෙයි මං දන්නවා
                                උඹේ දූවිලි සුවඳ තැවරුණු
                                පැදුර තාමත් තියෙනවා
                                දැනුත් සීගිරි සිංහයා
                                කට ඇරන් ඉන්නව පේනවා
                                ඒ ඉසව්වෙන් යද්දි ම මං
                                පොඩි කෙල්ල හංගා ගන්නවා

මස්ඉඹුල සචේතනිකව හෝ අචේතනිකව පැරණි සිංහල රාජ්‍යයේ එක් ඛේදජනක සත්‍යයක් වෙතට පාඨක සිත් යොමු කරවයි.එනම් අන්තඃපුර සුන්දරියන්ගේ තිරය පිටුපස ජීවිත කථාවයි.අප පොත්වල කියවන්නේද සිනෙමා පටවල දකින්නේද දසුන් සරසනා මේ සුරූපිනියන්ගේ රූසිරි පමණකි. එනමුත් ඔවුහුද ඔවුන්ගේ පවුල්වල අනෙකුන්ද විඳි දුක්ඛ දෝමනස්සයන් ගැන අප කවරක් නම් දනිමුද?

අපි සාමාන්‍යයෙන් අපේ ලිංගික සහකරුවාව හෝ සහකාරියව අනෙකෙකු හා බෙදා ගැනීමට කිසිසේත් නොකමැත්තෙමු.ඒ තබා මහමගදී අපේ සහකරුවා/සහකාරිය දෙස තවෙකෙකු බැලීමද අපට සංග්‍රාමාවතීර්ණ වීමට හේතුවකි.( " මොකද හු...? මීට කලින් කෙල්ලො දැකල නැද්ද? / " ඒ කෙල්ල මොකටද ඔයා දිහා බලන්නෙ? බලන්නෙපා ඒ දිහාව" ) එහෙයින් මේ යොවුන් වියේ පසුවූ මානවිකාවන් තමාව තමාට වඩා බොහෝ මහල්ලෙකුට විවාහ කර දීමද, ඔහුව තවත් කතුන් සිය ගණනක් හා බෙදා ගන්නට වීමද කෙසේ ඉවසා ගන්නට ඇත්ද?

එසේම ඔවුන්ගේ පවුල්වල උදවිය ස්වකීය දියණිය/ සොයුරිය ගැන සිතමින් ඉහිලූ දුක් කඳ කොපමණ දැයි අපට සිතා ගත හැකිද?

පුරාතන හෙළ-බොදු සංස්කෘතිකාසිරිය ගැන නන් දොඩවනා උගතුන් එහි මේ දුක්ඛ පක්ෂය ගැන ද සංවාදයක් ගොඩනගන්නේ නම් කෙතරම් අගේද?

මේ අන්තඃපුර ලලනාවන් ගැන මනරම් විස්තරයක් මොහාන් රාජ් මඩවලගේ ලොවීනා නම් කුණුහරුප නවකතාවෙ එයි. එය මා එනමින් හැඳින්වූයේ අපහාසාර්ථයෙන් නොවේ. එය සැබවින්ම කුණුහරුප ගැන එළිපිට කතිකා කරනා සෘජු ප්‍රකාශනයක් බැවිනි.

කවියද කතාන්දරයද අවසානය. බලා සිටි ඔබ සැමට ස්තූති ය!

2 comments:

  1. අපූරු හෝඩුවාවක් සරදි. එකක් ගන්න ඕනෙ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක විතරක් නෙමෙයි දුමියෝ පට්ට කවි ටිකක් මේ පොතේ තියෙනව.

      Delete